ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක්

ලන්ඩන් ගමනට එරෙහි නඩුවට රනිල්ට ඇප ලබාදීම ගැන ගැටලුවක්

February 18, 2026   08:55 pm

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබා දී ඇත්තේ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනයට ප්‍රමාණවත් කරුණු නොමැතිව තිබියදී බව කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (18) ප්‍රකාශ කර තිබේ.

නිල සංචාරකට මුවාවී පෞද්ගලික සංචාරයක නිරතවීමෙන් රුපියල් මිලියන 16.6ක රාජ්‍ය මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නීති කෘත්‍යය අද කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීය.

ඒ නඩුවේ පළමු සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එකී වරද සිදුකිරීමට ආධාර අනුබල දුන්නේ යැයි චෝදනා එල්ලවී රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක සම්බන්ධයෙන් වූ ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීම සඳහාය.

අනතුරුව, දින 21ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇප මත මුදාහැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

එහිදී පිටු 07කින් සමන්විත ඇප නියෝගය කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විසින් ප්‍රකාශයට පත්කළේය.

" මෙම නඩුවේ දෙවැනි සැකකරු වන මෙම සැකකරුට එල්ලවී ඇති චෝදනාව තමයි රාජ්‍ය නායකයා විසින් සිදුකළ බවට සැකකෙරෙන මූල්‍ය වංචාවක් අනුමත කිරීම තුළින් ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස පළමු සැකකරු සිදුකළ වරදට ආධාර අනුබලදීම. 

මෙම නඩුවේ දැනට ඉදිරිපත් වී ඇති කරුණු අනුව සැකකරු රාජ්‍ය නායකයාගේ විදේශ සංචාරය පෞද්ගලික සංචාරයක්ද, නිල සංචාරයක්ද යන්න තහවුරු කරගැනීමකින් තොරව, හුදෙක් පහළ නිලධාරින්ගේ තීරණ මත පදනම්ව රාජ්‍ය මූල්‍ය අනුමත කර ඇති බව පෙනීයනවා. ජනරජයේ ඉහළම රාජ්‍ය නිලධාරියා ලෙස එසේ කරනවානම්, ඉන් පහළ රාජ්‍ය මූල්‍ය කළමණාකරණය පිළිබඳ විශාල ගැටලුවක් පැනනගිනවා. මුදල් දුලබ කාලයක එම අනුමත කිරීම සිදුකිරීමේදී ඒ පිළිබඳ පෞද්ගලිකව සොයා බැලිය යුතුව තිබුණා. එය අත්හළ නොහැකි වගකීමක්. එබැවින් මෙම සැකකරු සාපරාධී චේතනාවෙන් ක්‍රියාකර ඇති බව නිරීක්ෂණය වනවා. 

කෙසේ වුවද, මෙම නඩුවේ සමස්තය පිළිබඳ අවධානය යොමුකිරීමේදී දෙවැනි සැකකරුට වඩා වැඩි වගකීමක් පළමු සැකකරු වන රනිල් වික්‍රමසිංහට තිබෙනවා. එසේ තිබියදී මෙම අධිකරණයේ පූර්වගාමි විනිසුරුවරිය විසින් වෛද්‍යමය කරුණු සුවිශේෂි තත්ත්වයක් ලෙස සලකා පළමු සැකකරු ඇප මත මුදාහැර තිබෙනවා. එහිදී පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මරාන්තික රෝගී තත්ත්වයකින් පසුවූ බව ඇප නියෝගයේ සඳහන් වුවද, අත්අඩංගුවට ගැනීමට ආසන්න කාලයේ ඔහු එවැනි රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබා ඇති බව නිරීක්ෂණය වන්නේ නැහැ. එමෙන්ම ඇප ලැබීමෙන් පසුවද ඔහු එවැනි මරණාසන්න රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගත් බව අනාවරණය වී නැහැ. එම ඇප නියෝගය නිකුත් කිරීමේදී සලකා බලා ඇති වෛද්‍ය වාර්තාද අධිකරණ නියෝග ප්‍රකාරව කැඳවූ වෛද්‍ය වාර්තා නොවේ. එබැවින් පළමු සැකකාර රනිල් වික්‍රමසිංහ මාරාන්තික තත්ත්වයක සිට ප්‍රතිකාර ලැබූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් කරුණු නොමැතිව ඇප ලබා දී තිබෙන බව මා නිරීක්ෂණය කරනවා. 

රටේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන වියයුතුයි. නීතිය පළමු සැකකාර ජනාධිපතිවරයාට සහ දෙවැනි සැකකාර ජනාධිපති ලේකම්වරයාට වෙනස්වන්න බැහැ. එබැවින් මෙම තත්ත්වය මෙම සැකකරුට ඇප ලබා නොදීමට හේතුවක් නොවෙයි. සැකකරු රුපියල් මිලියන 20ක ශරීර ඇප 02ක් මත මුදාහැරීමට නියෝග කරනවා. "

අනතුරුව නීති කෘත්‍යය සම්බන්ධයෙන් සිදුකෙරෙන වැඩිදුර විමර්ශන පිළිබඳ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු වාර්තා කළේය.

" ස්වාමිනි, ඔබේ අධිකරණ නියෝග ප්‍රකාරව බ්‍රිතාන්‍යයේ වුල්ෆ්හැම්ටන් විශ්වවිද්‍යාලයට ලිඛිතව සහ විද්‍යුත් තැපෑලෙන් යොමුකරන ලද ප්‍රශ්නාවලියට මෙතෙක් ප්‍රතිචාර ලැබී නැහැ. එවැනි තත්ත්වයක ඊයේ සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරයක් යනවා වුල්ෆ්හැම්ටන් වාර්තාව ලැබුණා, මේ නඩුව සුණු විසුණු වෙලා ගියා කියලා. ස්වාමිනි, මේ නඩුව ඉදිරියට යන්න තියෙන්නේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවට. එහෙම තියෙද්දි යම් පිරිසක් සංවිධානාත්මකව උත්සාහ දරනවා සමාජයේ මානසික භීෂණයක් හදලා, සාක්ෂිකරුවන් සාක්ෂිදීමට නොපැමිණෙන තත්ත්වයක් හදන්න. උසාවියේ කතා නොකරන එළියේ කතා කරමින් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වන නීති විශාරදයෝ ඉන්නවා. මොවුන් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී නෛතික පියවර ගන්නවා."