මන්නාරම උසාවිය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට දින 90ක රැඳවුම් නියෝග

මන්නාරම උසාවිය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුට දින 90ක රැඳවුම් නියෝග

January 3, 2026   07:42 am

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පසුගිය වසරේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු, දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්නාරම අධිකරණය අවසර ලබාදී තිබේ.

මීට පෙර අඩම්පන් ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියකටද මොහුගේ සම්බන්ධයක් ඇති බවට සැකකිරීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම විමර්ශනය භාරදී තිබූ බව අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගැනුණි.

එම කාලය ඊයේ (02) පස්වරු 1ට අවසන් වීමට නියමිතව තිබූ බැවින්, දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ සැකකරු මන්නාරම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එහිදි සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීමට ඇති බැවින් ඔහු දින 90ක් රඳවා තබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් අවසර ඉල්ලීමට පියවර ගත්තේය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 9 වැනි වගන්තියට අනුව සැකකරුවෙකු දින 90ක් රඳවා තබා ගැනීමට ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය අනිවාර්ය වෙයි.

පස්වරු 1වන විට ආරක්ෂක අමාත්‍යාංශයෙන් අදාළ අනුමැතිය ලැබී නොතිබීම හේතුවෙන්, සැකකරු එළඹෙන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මන්නාරම අධිකරණය මුලින් නියෝග කළේය.

කෙසේවෙතත්, පසුව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයාගෙන් අදාළ අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෝසමක් මගින් නඩුව නැවත කැඳවූ අතර, සැකකරු දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබාදී ඇත.