කොළඹ අවට තැන් රැසකට ජල සැපයුම අත්හිටුවයි
January 3, 2026 08:50 am
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය ගෙන යන නළ මාර්ගයේ හදිසි පිපිරීයෑමක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අද (03) අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය.
අද මධ්‍යම රාත්‍රියට පෙර ජල සැපයුම යථාවත් කිරීමට ක්‍රියාකරන බවද ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.
අඹතලේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන යන නළය බත්තරමුල්ල තලංගම පයිප්ප පාර ප්‍රදේශයෙන් හදිසියේ පුපුරාගොස් තිබුණේ ඊයේ (02) රාත්‍රී 10ට පමණ ය.
ඉන් ඇතිවූ ජල කාන්දුවෙන් මාර්ගය ජලයෙන් යටවී තිබුණි.
ජල කාන්දුව නිසා මාර්ගයේ වළක් ද සැදී ඇති අතර ඒ අසල නවතා තිබූ මෝටර් රථයක් ඊට ඇදවැටී ඇති බව අප වාර්තාකරුවන් පැවසීය.
ජල නළය අලුත්වැඩියා කිරීම මේ වනවිට ආරම්භ කර ඇති අතර එය යථාවත් කරන තෙක් අඹතලේ සිට දෙහිවල දක්වා ප්‍රදේශ කිහිපයකට අද ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පැවසීය.
ඒ අනුව මොරටුව, රාවතාවත්ත, සොයිසාපුර, රත්මලාන, ගල්කිස්ස,දෙහිවල, වැල්ලවත්ත, පාමංකඩ, මුල්ලේරියාව සහ කොලොන්නාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවා තිබේ.
එමෙන්ම බත්තරමුල්ල ප්‍රදේශයට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදුකෙරෙයි.
