අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරුට
December 14, 2025 06:51 am
එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හි පිහිටි බ්‍රවුන් විශ්ව විද්‍යාලය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සිද්ධියෙන් තවත් පුද්ගලයින් 8 දෙනෙකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත.
වෙඩික්කරු වෙඩි තැබීමෙන් පසු පලා ගොස් ඇති බවත් මෙතෙක් සැකකරු අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ ආශ්රිත ජනතාවට ආරක්ෂාකාරීව නිවෙස් තුළ සිටින ලෙසද එරට පොලීසිය දන්වා තිබේ.
විශ්වවිද්‍යාලයද වෙඩික්කරුවෙකු පිළිබඳව අනතුරු අඟවමින් නැවත දැනුම්දෙනතුරු සැඟව සිටින ලෙසද ජනතාවගෙන් සහ විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත.
කළු පැහැති ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඔහු වෙඩි තැබීම සඳහා කුමන ගිනි අවියක් භාවිත කර ඇද්ද යන්න සම්බන්ධවත් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බවත් පොලීසිය පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් පසු සැකකරු පයින්ම පිටව ගොස් ඇති බවද වාර්තා වන අතර සැකකරු සොයා විමර්ශන පැවැත්වෙන බවත් සඳහන් වේ.
මේ අතර සිද්ධිය සම්බන්ධව සිය Truth Social හි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ වෙඩි තැබීම සම්බන්ධව තමන්ට වාර්තා වූ බවත් මේ වන විට එම ස්ථානයට ෆෙඩරල් විමර්ශන කාර්යාංශය යොමු වී ඇති බවත්ය.
