රාජිතට එරෙහි මෝදර ධීවර වරායේ නඩුව කල්යයි

රාජිතට එරෙහි මෝදර ධීවර වරායේ නඩුව කල්යයි

December 11, 2025   12:36 pm

2014 වසරේ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව  අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 29 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුව අද (11) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේ මෙම විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා සංශෝධනය කිරීමට අවසර ලබා දෙන ලෙසය. 

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනා 13ක් සංශෝධනය කිරීමට අධිකරණය අවසර ලබා දුනි.

එහිදී විත්තිකාර රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සංශෝධිත චෝදනා සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඒවා අධ්‍යයනය කිරීමට කාලය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. 

ඉන් අනතුරුව අදාළ නඩුව යළි ජනවාරි මස 29 වනදා කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.

2014 අගෝස්තු 01 වනදා සිට නොවැම්බර් 01 වනදා දක්වා කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට අඩු මුදලකට බදුදීම සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය පෙළඹවීම තුළින් දූෂණය නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණි.