ආපදාවෙන් රෝහල් 410කට බලපෑම් - නවතම අනාවරණය මෙන්න

ආපදාවෙන් රෝහල් 410කට බලපෑම් - නවතම අනාවරණය මෙන්න

December 11, 2025   09:20 pm

සුළි කුණාටුවේ බලපෑමෙන් ඇති වූ ආපදා තත්වයත් සමග දිවයිනේ රෝහල් 410කට බලපෑම් එල්ල වූ අතර ඉන් වැඩිම හානි සිදුව තිබුණේ මහියංගනය මූලික රෝහලට සහ හලාවත දිස්ත්‍රික් රෝහලටය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ආයතන 500කට අධික ප්‍රමාණයකට බලපෑම් එල්ල වු බවය.

අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින් අනිල් ජාසිංහ මහතා මේ බව සදහන් කළේය.

අදාළ සෞඛ්‍ය ආයතන යථා තත්ත්වයට පත් කිරීමට තවත් කාලයක් ගතවනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම එම වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා සදහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් රෝහල් 53ක උපකරණ සඳහා බලපෑම එල්ල වී ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මහතා,
''මහියංගන රෝහල, ඒ වගේම හලාවත රෝහලේත් අරගෙන යන්න පුළුවන් දේවල් ඔක්කොම වගේ උපකරණ ඒ කාර්ය මණ්ඩලය ඒ වෙලාවේ අරගෙන ගිහිල්ලා තියෙනවා. විශේෂයෙන්ම මහියංගනය ගත්තහම ගොඩක් දේවල්. ඒ කියන්නේ සමහර මැෂින්වල ගලවන්න පුළුවන් කෑල්ල අරගෙන උඩට ගිහිල්ලා තියෙනවා. ගොඩක් ඩැමේජ් වෙච්ච ඒවා තුනයි තියෙන්නේ. එකක් ඔය හලාවත රෝහල, මහියංගනය අනිත් එක වත්තේගම.. ඒකේ ලොකු ඩැමේජස් නැහැ. බිල්ඩින් වල ඩැමේජ් වෙලා තියෙන්නේ දෙසිය තිස් හයකයි. ඒ කියන්නේ ඔය උපකරණවලට ඩැමේජ් තියෙනවා පනස් තුනක. ඒවා පිළිබඳ යම් තක්සේරුවක් කරමින් යනවා.''