අයහපත් කාලගුණය ජීවිත 47ක් උදුරා ගනී

අයහපත් කාලගුණය ජීවිත 47ක් උදුරා ගනී

November 27, 2025   06:15 pm

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊයේ (26) සහ අද (27) දෙදින තුළ පමණක්  පුද්ගල මරණ 37ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මේ දක්වා කාලය තුළ සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව 47ක් දක්වා ඉහළගොස් ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 21 දෙනෙකු අතුරුදන්ව ඇති බවය.

එමෙන්ම පවුල් 1729කට අයත් පුද්ගලයින් 5,893 දෙනෙකු ද අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවද එම මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසුවේ, එම දිස්ත්‍රික්කයේ සිදුවු නායයෑම් හේතුවෙන් මරණ 23ක් සිදුව ඇති බවය.

පුද්ගලයින් 5 දෙනෙකු තවදුරටත් අතුරුදන්ව සිටින බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

එමෙන්ම මහනුවර, ගංගොඩ ප්‍රදේශයේ සිදුවු නායයෑමකින් පුද්ගලයින් 20 දෙනෙකුට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්  විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසුවේ, නායයෑමේ අවදානමක් හේතුවෙන් නිවාස කිහිපයක පදිංචිකරුවන් ආරක්ෂාව සඳහා එක් නිවසක රැදී සිටිය දී එම නිවස නායයෑමට ලක්ව ඇති බවය.

මේ වනවිට අතුරුදන්වු පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන ඇත.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් හේතුවෙන් මරණ 6ක් සිදුව තිබේ.

නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 සඳහාම මේ වන විට අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බව දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය සඳහන් කළේය.