උණවටුනේදී ජර්මානු ජාතිකයින් පිරිසකට පහරදීමක්

උණවටුනේදී ජර්මානු ජාතිකයින් පිරිසකට පහරදීමක්

September 21, 2025   07:14 pm

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කරන ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය තුළ මේ වනවිට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්තා අනුව 2025 ජනවාරි පළමුවැනිදා සිට සැප්තැම්බර් 17 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ගණන 1,656,916 කි.

මේ වසරේ විදෙස් සංචාරකයින් මිලියන 3 ඉලක්කය සාක්ෂාත් කරගැනීම බලධාරීන්ගේ අරමුණ වේ.

කෙසේවෙතත් එම සුබවාදී අපේක්ෂා බොඳ කරමින් විදෙස් සංචාරකයින්ට පහරදීමේ සහ හිරිහැර සිදුකිරීමේ අවස්ථා රැසක්ම මෙරට සංචාරක කලාපවලින් පසුගිය සමයේ වාර්තා විය.

එහි ආසන්නතම සිදුවීම ඊයේ වාර්තා වුණේ උණවටුන ප්‍රදේශයෙනි.

උණවටුන සංචාරක හෝටලයක සාදයක සිටි යුවළ තුනකින් සමන්විත ජර්මන් ජාතික සංචාරකයන් 6 දෙනෙකු සහ ලාංකිකයින් දෙදෙනෙකු අතර ඊයේ රාත්‍රියේ බහින්බස් වීමක් සිදුව තිබේ.

අනතුරුව ජර්මන් සංචාරකයින් පිරිස යතුරුපැදි දෙකකින් සහ ත්‍රිරෝද රථයකින් එම හෝටලයෙන් පිටව ගොස් තිබුණි.

ඒ අතරවාරයේ බහින්බස් වීමට සම්බන්ධ වූ ලාංකිකයින් දෙදෙනා මෝටර් රථයකින් සංචාරකයින් පසුපස හඹාවිත් ඔවුන්ගේ මඟ හරස් කර විදෙස් සංචාරකයින්ට පහර දී තිබේ.

පහරකෑමට ලක්වූ ජර්මන් ජාතිකයින් සිද්ධිය සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය පැයක් ගතවන්නට මත්තෙන් සංචාරකයින්ට පහරදීමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් පහරදීමට පැමිණි මෝටර් රථය ද එහිදී පොලිස් භාරයට ගැනුණි.

මෙලෙස අත්අඩංගුවට පත්වුණේ අවුරුදු 25 සහ 26 වයස්වල පසුවන රූමස්සල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ඔවුන් ද සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන් බව පොලිසිය පැවසුවේය.

සැකකරුවන් හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර පහරකෑමට ලක්වූ සංචාරකයින් මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටී.

කෙසේවෙතත් විදෙස් සංචාරකයින්ට එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරතවන්නන් ද විරෝධය පළ කළේය.

විවිධ අවස්ථාවල , විවිධ කාරණා වෙනුවෙන් ලාංකිකයින් සහ විදෙස් සංචාරකයින් අතර බහින්බස්වීම් ඇතිවූවත්, ඔවුන්ට පහරදීම කිසිලෙසකින්වත් අනුමත කළ නොහැකිය.

මෙවන් සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වීමෙන් සිදුවන්නේ ලොව සුන්දරතම සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රකට ශ්‍රී ලංකා සන්නාමයට තව තවත් කළු පැල්ලම් එකතු වීමය.