යෝජිත කම්කරු පනතට පාර්ශව රැසකින් යෝජනා ලබා ගැනීමට පියවර

යෝජිත කම්කරු පනතට පාර්ශව රැසකින් යෝජනා ලබා ගැනීමට පියවර

August 15, 2025   04:34 pm

ජාතික කම්කරු උපදේශක සභාව කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කම්කරු මහලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී ඊයේ (15) පැවැත්විණි.

එහිදී නව කාර්මික සම්බන්ධතා පනතක් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව අදහස් පළවිය.

යෝජිත පනත සම්බන්ධවද අදහස් සහ යෝජනා විමසා බැලීම සඳහා පසුගියදා කැබිනට් මණ්ඩලය විසින් කැබිනට් මණ්ඩලය විසින් උපදේශක කමිටුවක්ද පත් කෙරිණි. 

ඒ පිළිබඳ අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය ආචාර්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ පුළුල් පදනමක පිහිටා නව කම්කරු පනතක් නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාව වන බවය. 

එම වැඩපිළිවෙළ විනිවිදභාවයෙන් සිදු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

මෙහිදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද අදහස් පළ කළ අතර නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාතික කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිති පමණක් නොව ඉන් පරිබාහිරව සෙසු වෘත්තීය සමිතිවල අදහස් සහ යෝජනා ඉදිරියේදි ලබා ගැනීමට කටයුතු කරන බවය.

නව කම්කරු පනත නිර්මාණය කිරීම සඳහා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වැනි පාර්ශවවල යෝජනාද සැළකිල්ලට ගැනීමට හැකියාව පවතින බව මහින්ද ජයසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම පැවති සාකච්ඡාවේදී වතු කම්කරුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන්ද අවධානය යොමුවූ අතර එම ගැටළු වැවිලි කටයුතු අමාත්‍යංශය සමග සාකච්ඡා කර විසඳුම් ලබා ගැනීමටද දින නියම කෙරිණි.

ඊට අමතරව පෞද්ගලික අංශයේ අවම ජාතික වේතනය, සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රමික කාන්තාවන්ගේ රාත්‍රී සේවා මුර ආදී කරුණු පිළිබඳවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

අද පැවති රැස්වීම සඳහා වෘත්තීය සමිති නියෝජිතයින්, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන්, කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් නදීකා වටලියද්ද ඇතුලු මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

ජාතික කම්කරු උපදේශක සභාව එළැඹෙන ඔක්තෝබර් මස 15වැනිදා යළි රැස්වීමට නියමිතය.