අගමැතිනිය මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙයි

අගමැතිනිය මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට එක්වෙයි

August 15, 2025   05:10 pm

මැණික් හා ස්වර්ණාභරණ සඳහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා සිටිය ද අපේක්ෂිත මට්ටමට අපනයන වර්ධනයක් සිදුව නැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.

“Gem City Ratnapura- 2025” මැයෙන් පැවැත්වෙන ජාත්‍යන්තර 'මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025' සමාරම්භක උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය. 

එහිදී ඇය වැඩිදුරටත් පැවසුවේ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළඳපොළ ජය ගත හැකි පරිදි ස්ථාවර ප්‍රතිපත්ති සකස් කිරීමට රජය කටයුතු කරන බවය.

ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පළමු රජයේ වෙළඳ වෙබ් අඩවිය වන www.gemcityratnapura.com වෙබ් අඩවිය GOV PAY නවතම පහසුකම සහිතව එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න මහ නායක හිමි, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරිය හා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මෙන්ම මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය,

“ශ්‍රී ලංකාව මැණික් සඳහා මුළු ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මෙම මැණික්වලින් විශාල ප්‍රමාණයක් හමුවන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. නමුත් රත්නපුරට හිමි එම ගෞරවය ලැබී ඇති දැයි අප විමසිය යුතුයි. උසස් තත්වයේ මැණික් අපනයනයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් කර්මාන්තයෙන් ජාතික ආර්ථිකයට ලබා දෙන දායකත්වය විශාලයි. කෙසේ නමුත් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයෙන් දේශීය අපනයන ආදායමට දැක්විය හැකි උපරිම විභවතාවයට අපි  තවමත් ළඟා වී නැහැ. නොගැළපෙන ප්‍රතිපත්තීන් මෙම ක්ෂේත්‍රයේ වර්ධනයට බාධා ඇති කරනවා. නමුත් මැණික් කර්මාන්තයේ අභිලාශගත ඉලක්ක අපනයන ආදායම ලබා ගැනීම සඳහා අවශ්‍ය ස්ථාවර ප්‍රතිපත්තීන් සකස් කිරීම සඳහා අප රජය කැපවී කටයුතු කරනවා.''