පාකිස්තානය නව මිසයිල බළකායක් පිහිටුවද්දී මෝදිගෙන් සැර පිළිතුරක්
August 15, 2025 05:44 pm
ඉන්දියාවත් සමග පසුගිය මැයි මාසයේ ගුවන් සටනක නිරත වූ පාකිස්ථානය ඔවුන්ගේ ප්‍රහාරක මිසයිල හැකියාවන් අධීක්ෂණය කිරීම සඳහා නව හමුදා බළකායක් ස්ථාපිත කිරීමට සැලසුම් කරන බව වාර්තා වේ.
ඉන්දු කාශ්මීරයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය අතර මැයි මාසයේදී ඇති වූයේ දශක ගණනාවකින් දෙරට අතර ඇති වූ දරුණුතම ගැටුමයි.
පාකිස්ථානයේ 79 වැනි නිදහස් සැමරුම අනුස්මරණය කිරීම සඳහා ඉස්ලාමාබාද් නුවර පැවති උත්සවයකදී තමයි පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් මේ නව මිසයිල බළකාය පිහිටුවීම ගැන අනාවරණය කළේය.
යුධ හමුදා රොකට් බළකාය විදියට මේ නව මිසයිල බළකාය ඔහු හඳුන්වා තිබේ.
එය නවීන තාක්ෂණ උපකරණවලින් සන්නද්ධ බළකායක් වනු ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
සතුරාට සෑම පැත්තකින්ම ඉලක්ක කරගෙන පහරදීමට හැකියාවක් සහිතව එය නිර්මාණය කෙරෙන බවත් එය පාකිස්ථානයේ සංග්‍රාමික හැකියාවන් තවදුරටත් ශක්තිමත් කරන සන්ධිස්ථානයක් බවත් අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් සඳහන් කළේය.
පාකිස්ථාන රූපවාහිනී සේවා මඟින් විකාශය කෙරුණු ඔහුගේ එම ප්‍රකාශයේදී නව මිසයිල බළකාය ගැන වැඩිදුර තොරතුරු අනාවරණය කෙරුණේ නැහැ.
එහෙත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් රොයිටර්ස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කළේ, පාකිස්ථානය ස්ථාපිත කරන යුද හමුදා රොකට් බළකාය ඒ සඳහාම පත් කෙරෙන අණදෙන නිලධාරීයෙකු යටතේ ක්‍රියාත්මක වනු ඇති බවය.
මෙන්ම එම බළකාය යුද තත්ත්වයකදී මිසයිල ස්ථානගත කිරීම සහ හැසිරවීම සඳහා වෙන්වනු ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.
නිල වශයෙන් නම් නොකළත් පාකිස්ථානයේ මේ නව හමුදා බළකාය ඉන්දියාව ඉලක්ක කරගෙන, ඉන්දියාවේ මිසයිල හැකියාවන්ට සම කිරීම සඳහා ගනු ලැබූ පියවරක් ලෙස ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
ඉන්දු - පාකිස්ථාන පසමිතුරුකම් 1947 වසරේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා දෙරට බිහි වූ දා පටන්ම පවතින්නකි.
න්‍යෂ්ටික අවියෙන් සන්නද්ධ ඉන්දියාව සහ පාකිස්තානය ඔවුන්ගේ යුද හමුදා නවීකරණය කිරීම අඛණ්ඩව සිදුකරනු ලබයි.
පසුගිය මැයි මාසයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වූ ගැටුමේදී මිසයිල, ඩ්‍රෝන් යානා මෙන්ම ප්‍රහාරක ජෙට් යානා ද යොදා ගැනුණි.
යුද්ධය අවසන් කළේ කවුරුන් ද යන්න මතභේදයට ලක්වුණත්, ඔවුන් අතර සටන් විරාමය මුලින්ම නිවේදනය කළේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසිනි.
මේ අතර, ඉන්දු- පාකිස්ථාන ගුවන් සටනින් පසු පාකිස්ථානයේ කීර්තිමත් සහ ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින පාකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් මුනීර් ඉන්දියාව සම්බන්ධයෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.
ජනපති ට්‍රම්ප්ගේ ආරාධනයෙන් ධවල මන්දිරයට ගොස් රාත්‍රී භෝජන සංග්‍රහයකින් ද සැලකිල්ලට බඳුන් වූ ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ මාස 3කට අඩු කාලයකදී දෙවැනි වරටත් අමෙරිකාවේ සංචාරයක නිරතවෙමිනි.
ෆ්ලොරීඩාවේදී පාකිස්ථාන ඩයස්පෝරාව සංවිධාන කළ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඔහු ප්‍රකාශ කර තිබෙන්නේ, ඉන්දියාව තවදුරටත් කලාපය තුළ අස්ථාවරභාවයක් ඇතිකරන බවය.
කෙසේ නමුත් ඉන්දියාව විසින් ගනු ලබන ඕනෑම ආක්‍රමණශීලී පියවරකට, සුණුවිසුණු කරන (CRUSHING) ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කර තිබේ.
පාකිස්ථානය සිය හමුදා නායකයා අමෙරිකාවේදී සිදුකළ ප්‍රකාශයේ තොරතුරු හෙළි කළේ, ඉන්දීය මාධ්‍ය ඒ සම්බන්ධයෙන් ඊට වඩා මතභේදාත්මක වාර්තා පළ කිරීමෙන් අනතුරුවය.
'ද ප්‍රින්ට්' නැමැති ඉන්දීය පුවත්පත වාර්තා කර තිබුණේ ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානයට ලැබීම වළක්වාලමින් ඉන්දියාව නව වේල්ලක් ඉදිකළහොත් එය මිසයිල ප්‍රහාරයකින් විනාශ කරන්නේ යැයි ඔහු පැවසූ බවය.
එමෙන්ම න්‍යෂ්ටික යුද්ධයක් පිළිබඳව ද පාකිස්තාන හමුදා නායකයා එහිදී අනතුරු ඇඟවීමක් කළ බවත් එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ද ප්‍රින්ට් පුවත්පත එම වාර්තාව ඉදිරිපත් කිරීමේදී, ෆ්ලොරීඩාවේ පැවති එම රාත්‍රී භෝජනයට සහභාගී වූවන් වෙතින් තොරතුරු ලබාගත් බව ප්‍රකාශ කළත් ඔවුන්ගේ නම් න අනාවරණය කර නැහැ.
ෆීල්ඩ් මාර්ෂල් අසීම් මූනීර් සහභාගී වූ එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි අයට ජංගම දුරකථන හෝ පටිගත කිරීමේ උපකරණ රැගෙන ඒම තහනම් කර තිබූ බවත් ඉන්දීය පුවත්පත සඳහන් කළේය.
පාකිස්ථාන හමුදා ප්‍රධානියා එම හමුවේදී ඉන්දියාවට න්‍යෂ්ටික අවි තර්ජනයක්, එල්ල කිරීම ප්‍රශ්නකාරී බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.
එම තර්ජනය මිතුරු තුන්වැනි රටකදී, සිදුකර ඇති බවත්, ඉන්දියාවට කිසිවිට න්‍යෂ්ටික 'බ්ලැක්මේල්' කිරීමකට යටත් නොවන බවත් ඉන්දීය විදේශ අමාත්‍යාංශය කියා සිටියේය.
මේ අනුව පාකිස්ථානය සතුව න්‍යෂ්ටික අවි සහ ඒවා පාලනය කිරීමේ විධාන බලයක් තිබීම විශ්වාසනීයත්වයකින් තොර තත්ත්වයක් බව ද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර අමෙරිකා එක්සත් ජනපදය සමග සබඳතාවල අවිනිශ්චිතභාවය හමුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් රුසියාවේ සංචාරයකට සැරසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ලබන 21 වැනිදා මොස්කව් බලා යන ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැවරොෆ් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
ජාත්‍යන්තර රාමුව යටතේ ක්‍රියාත්මක වන ද්විපාර්ශ්වික සහයෝගීතාවට අදාළ කරුණු එහිදී සාකච්ඡා, කරන බවයි ඉන්දීය විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.
අමෙරිකානු තීරුබදු තර්ජනය හමුවේ ඉන්දියාව, රුසියාව මෙන්ම චීනය සමග ද සබඳතා ශක්තිමත් කරලීමේ උත්සාහයක නිරතවන බව පෙනී යයි.
ඊට ප්‍රතිචාර දක්වමින් චීනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන විදේශ අමාත්‍ය වෑන්ග්-යී ඉන්දීය සංචාරයකට සැරසෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දියාවේ 79 වැනි නිදහස් දිනය ද අදට යෙදී තිබේ.
ඒ නිමිත්තෙන් නව දිල්ලියේ ඓතිහාසික රතු බලකොටුවේ අද පැවති නිදහස් දින සැමරුමට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද පාකිස්ථාන හමුදා ප්‍රධානියාට පිළිතුරු ලබාදුන්නේය.
න්‍යෂ්ටික අවි බලය පෙන්වා තර්ජනය කිරීම නැත්නම් 'බැල්ක්මේල්' කිරීම ඉන්දියාව තවදුරටත් නොයිවසන බව අග්‍රාමාත්‍ය මෝදි එහිදී සඳහන් කළේය.
ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානයට ලබාදීම වළක්වන බවට අගමැති මෝදි නිදහස් දින කථාවේදී ද ඉඟියක් කළේය.
ඔහු කියා සිටියේ, ලේ සහ ජලය එකට ගැලිය නොහැකි බවට ඉන්දියාව තීරණයක් ගෙන ඇති බවය.
ඉන්දියාවේ ගංගා ජලයෙන් සතුරු රටවල ගොවිබිම් අස්වද්දද්දී ඉන්දීය ගොවීන් ජල හිඟයෙන් පෙලෙන බවත් අගමැති මෝදි කියා සිටියේය.
මේ නිස ඉන්දීය ගොවීන්ගේ අයිතීන් සහ ජාතික අභිලාෂයන් තවදුරටත් පාවාදිය නොහැකි බව ඔහු සඳහන් කළේය.
මේ අනුව ඉන්දු ගංගා ජල ගිවිසුමෙන් ඉන්දියාව ඉවත්වීම ස්ථිර කිරීමට අගමැති මෝදි පියවර ගෙන තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ නිදහස් දින කථාව පිළිබඳ වාර්කාවක් ගෙනඑමින් NDTV ප්‍රවෘත්ති සේවාව සඳහන් කළේ, පාකිස්ථානයට ජල සැපයුම් වළක්වාලමින් ඉදිකරන ඕනෑම ඉන්දීය යටිතල පහසුකමක් විනාශ කරන බවට පාකිස්ථාන හමුදා නායකයා පවසා ඇති බවය.
ඉන්දියාවට එරෙහි ඕනෑම ඉදිරි ක්‍රියාමාර්ගයකදී ඉන්දීය සන්නද්ධ හමුදා ඊට යෝග්‍ය ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන බවට අගමැති මෝදි සිය නිදහස් දින කථාවේදී පාකිස්ථානයට අනතුරු ඇඟවීමක් කළේය.
බටහිර බෙංගාලයේ සහ ඉන්දු කාශ්මීරයේ නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවත් අගමැති මෝදි සඳහන් කළේය.
ඔවුන් රටේ ජන සංයුතිය වෙනස් කිරීමට උත්සාහ කරන බවට ද ඔහු චෝදනා කළේය.
මම්තා බෙනර්ජිගේ නායකත්වයෙන් යුත් බටහිර බෙංගාලයේ බෙංගාලි බස කථාකරන ඉන්දීය වැසියන් මෙහිදී අගමැති මෝදිගේ ඉලක්කයක් වී ඇති බව විචාරකයන් පවසයි.
එහි බංග්ලාදේශයෙන් පැමිණි සංක්‍රමණික ජනතාවක් ද වාසය කරයි.
ඊශ්‍රායලයේ අයන් ඩෝම් සහ දැන් ජනපති ට්‍රම්ප් අමෙරිකාවේ ස්ථාපිත කිරීමට සැරසෙන ගෝල්ඩන් ඩෝම් ගුවන් ආරක්ෂක පද්ධතියට සමාන ස්වදේශීය ගුවන් ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම ගැනත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නිදහස් දින කථාවේදී සඳහන් කළේය.
බාහිරව එල්ලවන ඕනෑම තර්ජනයකට මුහුණදීම සඳහා සුදර්ශන් චක්‍ර නමින් මේ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ගුවන් ආරක්ෂක පද්ධතිය 2035 වසර වනවිට ඉන්දියාවේ ස්ථාපිත කිරීමයි සැලසුම් කෙරේ.
මෙම ගුවන් ආරක්ෂණ පද්ධතියට 'සුදර්ශන් චක්‍ර' කියන නම යොදා තිබෙන්නේ ක්‍රිෂ්ණා දෙවියන්ගේ චක්‍රායුධයට එය සමාන කරමිනි.
ඉන්දියාවේ දුම්රිය ස්ථාන, රෝහල් සහ ආගමික ස්ථාන ඇතුළු වැදගත් මර්මස්ථානවලට මෙම ගුවන් ආරක්ෂණ පද්ධතිය මගින් ආරක්ෂාව සලසන බව අගමැති මෝදි ප්‍රකාශ කළේය.