අමෙරිකානු - රුසියානු ජනපතිවරුන්ගේ හමුව අද ඇලස්කාවේදී

අමෙරිකානු - රුසියානු ජනපතිවරුන්ගේ හමුව අද ඇලස්කාවේදී

August 15, 2025   03:52 pm

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර හමුව අද (15) අමෙරිකාවේ ඇලස්කාවේදී පැවැත්වීමට නියමිතව පවතියි.

රුසියාව සහ යුක්‍රේනය අතර සටන්විරාමයක් ඇතිකරගැනීම, ලෝක බලවතුන් දෙදෙනා අතර පැවැත්වෙන මේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වේ.

කෙසේ නමුත් එම සාකච්ඡාවට සහභාගීවීමට යුක්‍රේන ජනාධිපති වොලොදමීර් සෙලෙන්ස්කි හට ආරාධනා කර නොමැත.

එවන් පසුබිමක යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන එම සාකච්ඡාවේදී ගන්නා තීරණ ඵලරහිත බවය.

එමෙන්ම යුක්‍රේනය එකඟ නොවන කිසිදු කොන්දේසියකට තමන් ද එකඟ නොවන බව යුක්‍රේනයට සහාය දක්වන යුරෝපීය රටවල් ද සඳහන් කළේය.

2022 වසරේ පෙබරවාරි මාසයේ දී යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව රුසියානු ජනාධිපතිවරයා බටහිර රටක සංචාරය කරන පළමු අවස්ථාව ද මෙය වේ.

එමෙන්ම අමෙරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් අතර වසර හයකට පසුව පැවැත්වෙන පළමු සාකච්ඡාව ද මෙය වීම විශේෂත්වයකි.