නිධන් හෑරු DIG බිරිඳ ඇතුළු 8ක් රිමාන්ඩ්
August 15, 2025 01:24 pm
ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසල පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා තොරතුරක් ලැබී තිබුණි.
ඒ අනුව එම ස්ථානයට ගිය පොලිසිය මෙලෙස කාන්තාවක් ඇතුළු 8ක් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් බදුල්ල, මාලිගාතැන්න, පදවි ශ්‍රීපුර, ගිරාඳුරුකෝට්ටේ, වරකාපොල හා අනුරාධපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
අත්අඩංගුවට ගත් පිරිස අතර සිටි කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, ඇය කොළඹ ප්‍රදේශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක් බවය.
සිය නිවසට ආරක්ෂාවක් කරගැනීම සඳහා තමන් මෙම ස්ථානයට පැමිණි බව ඇය ප්‍රකාශ කර තිබුණි.
පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පිරිස අතර කපුමහතෙකු ද සිටින බවය.
සැකකරුවන් ඊයේ (14) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.