2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ දී ඇරඹේ
July 26, 2025 05:56 pm
2025 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව චීනයේ ෂැංහයි හිදී අද (26) ආරම්භ විය.
සමුළුව පැවැත්වෙන්නේ "බුද්ධිමත් යුගයේ ගෝලීය සහයෝගීතාවය" යන තේමාව යටතේ ය.
"ශාස්ත්‍රීය ඉදිරි ගමන, මෘදු හා දෘඩ ඒකාබද්ධ කිරීම සහ ගෝලීය පාලනය" යන මූලික කරුණු තුන කෙරෙහි මෙවර සමුළුවේ දී මුල්වරට අවධානය යොමු කරනු ලැබේ.
මෙම සමුළුවට සමගාමීව පැවැත්වෙන ප්‍රදර්ශන භූමිය ද ප්‍රථමවරට වර්ග මීටර් 70,000 ඉක්මවා ගොස් ඇති අතර,සමාගම් 800කට වැඩි සංඛ්‍යාවක් සිය නිෂ්පාදන ප්‍රදර්ශනයට එක් කර ඇත.
අති නවීන නිෂ්පාදන 3,000කට අධික සංඛ්‍යාවක් මෙන්ම ගෝලීයව සහ දේශීයව මුල්වරට ඉදිරිපත් කෙරෙන නව නිෂ්පාදන 100කට අධික සංඛ්‍යාවක් ද එහිදී ප්‍රදර්ශනය කරනු ලැබේ.
ගෝලීය කෘත්‍රිම බුද්ධියේ වර්ධනය සහ ප්‍රවර්ධනය අරමුණින් පැවැත්වෙන මෙම සමුළුව සඳහා 30කට වැඩි රටවල් සහ කලාපවලින් ආරාධිතයන් 1200කට වැඩි පිරිසක් සහභාගී වේ.
චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා මෙවර සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වූ අතර, එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ වර්තමානයේ කෘත්‍රිම බුද්ධි ක්ෂේත්රයේ සාමූහික නවෝත්පාදන ශක්‍යතාව ඉස්මතු වන අතර එය කෘත්‍රිම බුද්ධිය වඩාත් කාර්යක්ෂම මෙන්ම සුහුරු දිශානතියක් ඔස්සේ ප්‍රවර්ධනය කරන බවය.
එමෙන්ම ලෝක කෘත්‍රිම බුද්ධි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීම පිළිබඳ යෝජනාවක් ද මෙහිදී චීන රජය ඉදිරිපත් කර ඇති අතර, කෘත්‍රිම බුද්ධි ගෝලීය පාලනය පිළිබඳ ක්‍රියාකාරී සැලැස්ම ද එහිදී නිකුත් කෙරිණ.