බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව අසත්‍ය පුවතක් ගැන පොලීසියෙන් කරුණු පැහැදිලි කිරීමක්
July 5, 2025 04:05 pm
බස් රථවල ආසන පටි පැළඳීම පිළිබඳව ඇතැම් මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය පුවතක් සම්බන්ධව පොලීසිය විසින් කරුණු පැහැදිලි කිරීම කර තිබේ.
නිවේදනයක් නිකුත්කරමින් පොලීසිය ඒ බව සඳහන් කර ඇත.
එහි දැක්වෙන්නේ, පොදු ප්‍රවාහන සේවා බස් රථ ඇතුළු රථවාහන ධාවනයේදී ආසන පටි පැළඳීම නව නීතියක් පැනවීමක් බවට හා දීර්ඝ කාලයක් අඛණ්ඩව ආසන පටි පැළඳ රිය ධාවනයේදී ශාරීරික අපහසුතා ඇතිවන බවට හුවා දක්වමින්, ඇතැම් මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබා දෙමින් මේ සම්බන්ධව විවිධ කරුණු ඉදිරිපත් කරන බවට නිරීක්ෂණය වන බවය.
මෙය නව නීතියක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති අතර 2011 අගෝස්තු 09 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1718/12 දරන ගැසට් පත්‍රය මඟින් රථවාහන ධාවනයේදී රියදුරෙකු විසින් ආසන පටිය පැළඳීම අනිවාර්ය බවට සඳහන් කර ඇති බව පොලීසිය පවසයි.
එසේම 1981 අංක 21 දරණ මෝටර් වාහන සංශෝධිත පනතේ 169 වන වගන්තිය ප්‍රකාරව අඛණ්ඩව රිය ධාවනය කිරීමේදී රියදුරෙකු සෑම පැය 04 යි විනාඩි 30 කට වරක්ම විනාඩි 30 ක කාලයක් විවේක ලබා ගත යුතු බවට සඳහන් කර ඇත.
එමෙන්ම පැය 24 කාල සීමාවක් තුළදී රියදුරෙකු පැය 10ක විවේකයක් ලබා ගත යුතුය.
දෛනිකව දිවයින තුළ වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීමේ අභිප්‍රායෙන් යුතුව නැවත සිහිකැඳවීමක් වශයෙන් මෙම ආසන පටි පැළඳීමේ නීතිය පිළිබඳව මෙලෙස රියදුරන් දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබ ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව මහජනයා නොමග යවන සුළු මෙවැනි පුවත් ඇතැම් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම තුලින් වැරදි තොරතුරු සමාජගත වන අතර රිය ධාවනයේදී ඉහත නෛතික තත්ත්වයන් කෙරෙහි අවධානය යොමු කර නියමිත පරිදි ආසන පටි පැළඳ විනයගරුක හා නීතිගරුක රියදුරන් වශයෙන් ක්‍රියා කර දෛනිකව වාර්තා වන මාරක රිය අනතුරු ඇතුළු අනෙකුත් රිය අනතුරු අවම කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පොලිස් රථවාහන මූලස්ථානය සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටී.