බංග්ලාදේශය අද ගෞරවය බේරාගැනීමේ සටනක
July 5, 2025 09:57 am
ශ්‍රී ලංකාව හා සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (5) පස්වරු 2.30ට ආරම්භවීමට නියමිතය.
තරග 3කින් යුත් මෙම තරගාවලියේ පළමු තරගය ලකුණු 77කින් ජය ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
ඒ අනුව තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණ ගෙන සිටියි.
ඔවුන්ට අද තරගය ජයගැනීමට හැකිවුවහොත්, තවත් තරගයක් ඉතිරිව තිබියදීම තරගාවලියේ ජය තහවුරු කරගැනීමට හැකිවේ.
මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනසක් සිදුවනු ඇති බවද වාර්තා වේ.
ඒ අනුව බොහෝ දුරට වේගපන්දු යවන මිලාන් රත්නායක වෙනුවට දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ කැඳවනු ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් ඊයේ (4) පැවති මාධ්‍ය හමුවේදී ද කථා බහට ලක් විය.
කණ්ඩායමේ වෙනසක් සිදුකරනවාද යැයි ප්‍රධාන පුහුණකරු සනත් ජයසූරිය මහතාගෙන් කළ විමසීමකදී ඔහු දැක්වූයේ මෙවන් අදහසක්.
"තාම ඒ ගැන කථා කළේ නෑ. අප තණතිල්ල බලන්න ඕන. ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ. කණ්ඩායමේ දොළොස් දෙනෙක් හිටියොත් ඒ දොළහට කොහොමත් දුනිත් වෙල්ලාලගේ ඉන්නවා" යැයි පැවසීය.
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුවරට එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2002 වසරේදීය.
එතැන් සිට මේ දක්වා පැවති තරග 11ම ජය ගැනීමට සමත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවය.
එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට සහභාගි වූ එක්දින තරග 6ම ජය ගැනීමට ද සමත්ව සිටියි.
තවද ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගය ජය ගතහොත්, බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව වසර 6කට පසු එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවනු ඇත.
අවසන්වරට පැවැති එක්දින තරගාවලි දෙකම ජයගෙන ඇත්තේ බංග්ලාදේශයයි.
ශ්‍රී ලංකාව අවසන්වරට බංග්ලාදේශය පරාජය කරනු ලැබුවේ 2019 වසරේ දී ශ්‍රී ලංකාවේදී පැවති තරගාවලියකදීය.
එහිදී තරග 3-0කින් බංග්ලාදේශය පරාජය කර තිබුණි.