අමෙරිකානු ඩොලරයේ විශිෂ්ටත්වය පිරිහෙයි
July 4, 2025 08:44 pm
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ගෝලීය ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රධාන අරමුණක් තමයි අමෙරිකානු ඩොලරය ලොව ප්‍රමුඛතම විනිමය ඒකකය ලෙස තවදුරටත් තහවුරු කිරීම.
එහෙත් දැන් සිදුවන්නේ ඊට ප්‍රතිලෝම ක්‍රියාවලියක් බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
2025 වසර සැලකූ විට යුරෝ විනිමයට සාපේක්ෂව අමෙරිකානු ඩොලරය 13%කින් පහත වැටී තිබේ.
ජපාන 'යෙන්' විනිමයට සාප්ක්ෂව ද ඩොලරය 8%කින් අවප්‍රමාණ වී ඇති බව විශ්ලේෂකයන් පෙන්වා දෙයි.
ඒ වගේම මේ විදියට ඩොලරය දුර්වලවීමට හේතු වී තිබෙන්නේ ජනපති ට්‍රම්ප් දෙවැනි ධූර කාලයේදී සිය ආර්ථික ප්‍රතිපත්ති තුළින් ගෝලීය ආර්ථිකයේ සිදුකළ කැලඹීම බව ඔවුන්ගේ අදහස වී තිබේ.
ඒ කියන්නේ ඩොලරය මෙලෙස පහත වැටෙන්නේ දශක ගණනාවක් තිස්සේ අධිප්‍රමාණය වුණ නිසාම නොවන බව ඔවුන් පෙන්වා දෙන කරුණකි.
ඒ නිසා ඇති වී තිබෙන ප්‍රවණතාවක් ලෙස යුරෝපීය සහ ජපාන ආයෝජකයන් තමන් ආයෝජන ඔවුන්ගේ රටවල් වෙත ගෙන යාමට පෙළඹීම පෙන්වා දිය හැකිය.
යුරෝපයේ සහ ජපානයේ ඉහළ ආර්ථික වර්ධන අවස්ථාවන් ද නිර්මාණය වී ඇති බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.
ජනපති ට්‍රම්ප් රටවල් රැසකට පැනවූ ඉහළ තීරුබදු නිසා ඇති වූ අවිනිශ්චිතතාව ඩොලරයේ පිරිහීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ.
යුරෝපා නිෂ්පාදන සඳහා පැනවූ 10%ක තීරුබද්ද, කැනඩාව සහ චීනය වැනි ප්‍රධානපෙළේ වෙළෙඳ පාර්ශ්වකරුවන්ට පැනවූ තීරුබදු ගෝලීය ආර්ථිකයේ කම්පනයක් ඇති කිරීමට හේතු වී තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් එම රටවල් ගන්නා ක්‍රියාමාර්ග තුළින් ද ඇතිවන්නේ අවිනිශ්චිතතාවකි.
මේ දිගුකල් පවත්නා අවිනිශ්චිතතාව හමුවේ ආයෝජකයන් ඩොලර් වත්කම්වලින් බැහැරවීමේ ප්‍රවණතාව ඩොලරය දුර්වල කර ඇති බව විශ්ලේෂකයන්ගේ අදහසයි.