කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

කහවත්ත ඝාතනය සම්බන්ධව තොරතුරු රැසක් ඔස්සේ පොලිස් පරීක්ෂණ

July 4, 2025   05:04 pm

කහවත්ත ප්‍රදේශයේ තරුණයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතුරු රැසක් ඔස්සේ මේ වන විට පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලීසිය පවසයි.

පසුගියදා පුද්ගලයින් සිව්දෙනෙකුගෙන් යුත් පිරිසක් පැමිණ නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැර ගෙන ගොස් තිබුණි.

එහිදී ඔවුන් දෙදෙනාව පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් වෙඩි තබා ඇති අතර එහිදී වෙඩි වැදීමෙන් 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් විය.

ජීවිතක්ෂයට පත්වූ එම තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (04) පස්වරුවේ සිදු කෙරුණු අතර එහිදී ප්‍රදේශයේ නොසන්සුන්තාවක්ද ඇති විය.

එහිදී තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කටයුතු කිරීමේදි ගම්වාසින් සහ පොලීසිය අතර ගැටුමක් හටගත් අතර එය පාලනය කිරීමට පොලීසිය කඳුලු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය.

පොලීසිය පැවසුවේ මේ වන විට ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බවත් පොලිස් ස්ථානවල නිලධාරීන් 30කට අධික පිරිසක් සහ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ද ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති බවත්ය.

එමෙන්ම තරුණයාගේ මරණය සම්බන්ධව චෝදනා එල්ල වන ඩුබායි අමිල නැමැත්තාගේ නිවසටද මේ වන විට පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් පොලිස් ආරක්ෂාව ලබා දී තිබේ.

එමෙන්ම ඔහුගේ නිවස ඉදිරිපිට නවතා තිබූ ත්‍රීරෝද රථයකට හා යතුරුපැදියකටද ඊයේ (03) ගම්වාසීන් විසින් ගිනිතබා විනාශ කර තිබුණි.

ඝාතනය සම්බන්ධව පොලිස් කණ්ඩායම් 04ක් යොදවා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිද්ධිය සම්බන්ධව CCTV දර්ශන හා දුරකථන වාර්තා තොරතුරු සමග කරුණු රැසක් අනාවරණය කරගෙන ඇති බවත් පොලීසිය පැවසීය.

එමෙන්ම සිද්ධිය සම්බන්ධව පුද්ගලයින් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීමටද කටයුතු කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.