සයුරෙන් එතෙර
අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට
July 4, 2025 11:18 am
අමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිශත ඇතුළත් ලිපි අද දිනයේ සිට රටවල් වෙත යොමුකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඉහළ තීරුබදු පැනවූ රටවල්වලට අමෙරිකාව ලබාදුන් බදු සහන කාලය ලබන ජූලි 9 වැනිදායින් අවසන් වීමට නියමිතය.
ශ්‍රී ලංකාව ද ඇතුළුව රටවල් සියයකට වැඩි ප්‍රමාණයක් ඉලක්ක කරගෙන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය අප්‍රේල් දෙවැනිදා අන්‍යෝන්‍ය තීරුබදු හඳුන්වා දුන්නේය.
ඒ එම දිනය අමෙරිකානු ජාතියේ විමුක්තිය ලැබීමේ දිනය ලෙස පවසමිනි.
මෙම විධායක නියෝගය යටතේ බහුතර රටවලට පැනවූ තීරුබදු ප්‍රතිශතය සියයට 10ක් ලෙස දැක්වුණි.
නමුත් අමෙරිකාව සමඟ වෙළෙඳ හිඟයක් පවතින රටවල් ඉලක්ක කරගෙන අතිරේක තීරුබදු හඳුන්වාදුන් අතර දෙරට අතර සියයට 88ක වෙළෙඳ හිඟ ප්‍රතිශතයක් ඇතැයි පවසමින්, ශ්‍රී ලංකාවේ ආනයන මත සියයට 44ක තීරුබදු පැනවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගත්තේය.
චීනය මෙම අන්‍යෝන්‍ය බදු ක්‍රමයේ ප්‍රධාන ඉලක්කය වූ අතර ඔවුන් එම තීරුබදු ක්‍රමවේදයට එරෙහිව අමෙරිකානු ආනයන මත තීරුබදු ඉහළ නැංවූයේ දෙපාර්ශ්වය අතර වෙළෙඳ යුද්ධයකට මුලපුරමිනි.
අමෙරිකාව චීන ආනයන මත සියයට 145ක බද්දක් පැනවීමට පියවර ගත්තේ ඉන් අනතුරුවයි.
ඉහළ බදුවලට ලක්වූ රටවල් රැසකින් කළ ඉල්ලීම් සලකා බලා තීරුබදු ක්‍රියාවට නැංවීම දින 90ක කාලයකට අත්හිටුවීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුව පියවර ගත්තේය.
එම සහන කාලසීමාව තුළ අදාළ රටවලට බලපෑවේ ගෝලීය වශයෙන් පොදුවේ පැනවූ සියයට 10ක අතිරේක තීරුබද්දක් පමණයි.
එම කාලය තුළ අතරතුර රටවල් රැසක්ම අමෙරිකාව සමඟ සාකච්ඡා ආරම්භ කළේ පනවා ඇති බදු ලිහිල්කරගැනීමේ අරමුණින්.
මේ අනුව අමෙරිකාව සමඟ බදු සහන එකඟතාවකට පැමිණීමට චීනය, වියට්නාමය ඇතුළු රටවල් කිහිපයක් සමත්වූයේ එම රටවලට සිදුකරන අමෙරිකානු ආනයන මත පනවා තිබූ තීරුබදු පහත හෙළමිනි.
එමෙන්ම ශ්‍රී ලංකාවට පැනවූ තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම අමෙරිකාවේදී පැවැත්වුණි
ඒ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂන සූරියප්පෙරුම, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ඇතුළු රජයේ නියෝජිතයින්ගේ ද සහභාගිත්වයෙනි.
කෙසේ වෙතත්, එම සාකච්ඡාවල ප්‍රගතිය නිල වශයෙන් වාර්තා කර නැහැ.
මේ අනුව එකඟවූ නව බදු ප්‍රතිශත සඳහන් කළ ලිපි අද දිනයේ සිට සියලුම රටවල් වෙත යොමුකරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.