ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡාකරන ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව - ඇමති අනිල් ජයන්ත
June 30, 2025 06:07 pm
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ නිලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ආසියානු කලාපයේ එකම රට ශ්‍රී ලංකාව බව අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
අද (30) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම සාකච්ඡාවන්වල වාසිදායක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවය.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 44ක තීරු බද්දක් පැනවීමට පසුගිය අප්‍රේල් 02 වනදා සිට තීරණය කළේය.
එහිදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකා ඇතුළු රටවල් කිහිපයකට අනෝන්‍ය තීරුබදු පැනවීම සජීවීව ප්‍රකාශයට පත්කළේය.
එහිදි ලොව පුරා රටවල් 60කට වැඩි ප්‍රමාණයක් සඳහා නව තීරු බදු ලැයිස්තුවක් එළිදක්වනු ලැබීය.
අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීම සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අරමුණින් මෙම නව බදු පැනවීමේ අරමුණ බව අමෙරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නව අන්‍යෝන්‍ය තීරු බදු හේතුවෙන් පැන නැඟිය හැකි ගැටලු පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කර රජයට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් 03 වනදා කමිටුවක් පත්කළේය.
එම කමිටුව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම්, මහබැංකු අධිපති, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, විදේශ අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් යන නිලධාරීන්ද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්ති උපදේශක ශිරාන් ප්‍රනාන්දු සහ අෂ්රොෆ් ඔමාර්, ෂෙරාඩ් අමලීන්, සයිෆ් ජැෆර්ජී යන මහත්වරුද මෙම පත් කරනු ලැබීය.
පසුව ට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා රජය විසින් නිවේදනයක් නිකුත් කළේය.
ඉන් අනතුරුව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් කරන ලද ආරාධනයකට අනුව, ශ්‍රී ලංකා දූත පිරිසක් පසුගිය මාසයේ වොෂින්ටන් හි දී තීරුබදු ආශ්‍රිත කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් සාකච්ඡා පැවැත්විය.
කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවමින් මැයි 28 වනදා නියෝගයක් නිකුත්කළේය.