දුම්රිය අවලංගුවීම නිසා සිදුවන දෛනික පාඩුව විගණනය කරන්න යයි
June 12, 2025 05:11 pm
දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් නිර්දේශ කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කෝපා කමිටුව පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
ඉකුත් මැයි 08වනදා මෙම කාරක සභාව හමුවට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව කැඳවූ අවස්ථාවේදී, 2023 වර්ෂයේ විගණකාධිපති වාර්තාව සලකාබැලීම සිදුවිය.
එහිදී අනාවරණය වූ කරුණු මත නැවත මෙම ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කෙරිණි.
මේ සඳහා හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරු සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ද කැඳවීමට තීරණය කෙරුණු අතර, ඒ අනුව එම නිලධාරීන්ද මෙම කාරක සභා රැස්වීමට සහභාගි වී තිබේ.
පවත්වා ඇති විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් නොවීම පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති අතර, 2021 වර්ෂයේ සිට 2024 වසර දක්වා කළමනාකරණ කමිටු රැස්වීම් ප්‍රමාණවත් අයුරින් පවත්වා නොමැතිවීම පිළිබඳව කෝපා කමිටුව හිටපු අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සහ හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරුන්ගෙන් කරුණු විමසන ලදී.
එහිදී හිටපු නිලධාරීන් පෙන්වා දී ඇත්තේ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සහිත කාලසීමාව තුළ කළමනාකරණ කමිටු රැස්වීම් පැවැත්වීම් අඩපණ වූ බවයි.
නමුත් 2024 වර්ෂයේ එය විධිමත් කිරීමට සැලසුම් කර තිබුණත් නිලධාරීන් ස්ථාන මාරුවීම නිසා සැලසුම්කර තිබූ අවසන් රැස්වීම පැවැත්වීමට නොහැකි වූ බව හිටපු නිලධාරීන් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙහිදී කමිටුව පෙන්වා දී ඇත්තේ, මෙම තත්ත්වය නිසා ආයතනයේ කාර්යක්ෂමතාව අවම වී ඇති බවයි.
ඒ හේතුවෙන් 2022 වර්ෂයේ දුම්රිය වාර 64ක්, 2023 වර්ෂයේ දුම්රිය වාර 61ක් සහ 2024 වර්ෂයේ දුම්රිය වාර 46ක් ප්‍රමාද වී ධාවනය වීමට හේතුවක් බව ඔවුන් පෙන්වා දී තිබේ.
මේ නිසා දීර්ඝව මේ සම්බන්ධයෙන් කෝපා කමිටුවේ දී සාකච්ඡාකිරීම සිදු වූ අතර, ඉන් අනතුරුව දෛනිකව සිදුවන දුම්රිය ප්‍රමාදවීම් සහ ඒවා වළක්වා ගැනීමට ගන්නා පියවර පිළිබඳ වාර්තාවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කරන ලෙස නිර්දේශ කළේය.
එසේම දුම්රිය අවලංගුවීම හේතුවෙන් සිදුවන දෛනික පාඩුව සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසද කමිටුව නිර්දේශ කළේය.
මේ අතර දුම්රියෙන් හුණුගල් ප්‍රවාහනය වෙනුවෙන් සියෑම් සිටි සිමෙන්ති (ලංකා) සමාගමෙන් 2024 දෙසැම්බර් 31 දිනය වනවිට අයවිය යුතු හිඟ ආදායම වන රු. 2,187,326 අයකර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබේ.
එම ව්‍යාපෘතිය මේ වන විටද ක්‍රියාත්මක වන බවත් අවශ්‍ය මුදල් නියමිත පරිදි අයකර ගැනීමට කටයුතු කරන බවත් හිටපු නිලධාරීන් පෙන්වා දී ඇත.
එසේම පසුගිය මැයි මස 22 වැනිදා කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී ඇති අතර, එහිදී අනාවරණය වූ තොරතුරු සම්බන්ධයෙන්ද එම මන්ත්‍රීවරුන් කාරක සභාව දැනුම්වත් කළහ.
මේ අනුව මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ, ඉවත්කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භූමි ප්‍රමාණයක් ආවරණය වී ඇති බවත්, ඇතැම් යන්ත්‍රෝපකරණ අවශ්‍ය කරන පාරිසරික තත්ත්වයන් තුළ ස්ථාපිත නොවී ඇති බවක් නිරීක්ෂණය වී ඇත.
තවද ප්‍රමාණය ඉක්මවමින් ඇතැම් උපකරණ මිලදීගෙන ඇති බව හෙළි වී තිබේ.
මේ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වූ අතර M 11 දුම්රිය එන්ජිම් මිලදීගැනීම, වියදම සහ නඩත්තු කිරීමේ වියදම සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස නිර්දේශ කර ඇත.
මීට අමතරව පසුගිය වසර 5 ඇතුළත ලබාගත් මූල්‍ය ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද කෝපා කමිටුව මෙහිදී නිර්දේශ කළේය.