දකුණු කේරළ ප්‍රාන්තයේ ජනතාවට අනතුරු ඇඟවීමක්
සයුරෙන් එතෙර

දකුණු කේරළ ප්‍රාන්තයේ ජනතාවට අනතුරු ඇඟවීමක්

May 26, 2025   09:26 pm

තෙල් සහ අනතුරුදායක භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අරාබි මුහුදේ ගිලී යාමේ සිද්ධියෙන් පසු ඉන්දියාවේ දකුණු කේරළ ප්‍රාන්තයේ බලධාරීන් ජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ලයිබිරියාවේ ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ විජින්ජාම් වරායෙන් පිටත්වීමෙන් පසු පෙරළී ගොස්  ඊයේ අනතුරකට ලක්ව තිබුණි.

එහිදි නෞකාවේ සිටි සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් 24 දෙනා ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මුදා ගත් අතර නෞකාවේ තිබු බහාලුම් 640ක් ගොඩබිම වෙත ගාසා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
කෙසේවෙතත් ඉන්දීය බලධාරීන් සඳහන් කළේ නෞකාවෙන් සහ එහි භාණ්ඩවලින් කාන්දු වූ තෙල්, ඉන්ධන සහ අනෙකුත් හානිකර ද්‍රව්‍ය හේතුවෙන් සාගර ජීවීන්ට සහ වෙරළ ආසන්නයේ සිටින ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට අනතුරක් විය හැකි බවය. 

මේ හේතුවෙන් වෙරළ අසල ජීවත් වන පදිංචිකරුවන්ට වෙරළට ගසාගෙන ආ බහාලුම් හා තෙල් ස්පර්ශ නොකරන ලෙස බලධාරීන් උපදෙස් දී ඇති අතර, ගිලී ගිය නෞකාවට සමීප වීමෙන් වළකින ලෙස ඉන්දීය බලධාරීන් එරට ධීවරයින්ගෙන් ඉල්ලා ඇත.