අධික වැසි සහ සුළං හමුවේ දිස්ත්‍රික්ක 21කට දැඩි බලපෑම්
May 30, 2025 05:53 pm
නිරිතදිග මෝසම් කාලගුණ සක්‍රීය වීමත් සමග දිවයින පුරා ඇදහැලෙන අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 21ක් බලපෑමට ලක්ව ඇතැයි ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් (ආපදා කළමනාකරණ අංශය) කේ.ජී. ධර්මතිලක මහතා පවසයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී අද (30) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මේ වන විට දිස්ත්‍රික්ක 21කට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 219ක පවුල් 2,249ක් පීඩාවට පත්ව ඇති බවය.
එමෙන්ම ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයිද ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ සියල්ලන් සඳහා රජයෙන් වන්දි ලබා දීමටද තීරණය කර ඇතැයිද ධර්මතිලක මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා,
"මේ දිස්ත්‍රික්ක 21 තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 219ක් ආපදාවට ලක්වෙලා තියෙනවා. මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 219 යේ පවුල් 2249ක් සහ ඒ පවුල්වල පුද්ගලයින් 8164 දෙනෙක් පීඩාවට පත්වෙලා තියෙනවා. සුළි සුළං තත්ත්වය හේතුවෙන් තමයි වැඩි හරියෙන් ආපදාවට පත්වෙලා තියෙන්නේ. ඊට අමතර නාය යාම් සහ කණ්ඩි කඩා වැටීම්ද මේ අතරට තියෙනවා.
පසුගිය 14 වැනිදා ඉඳලා අද දවල් 10 වෙනකොට තුන් දෙනෙක් මිය ගිහින් තියෙනවා. මේ මියගිය එක් අයෙකුට අපි ලක්ෂ 10 බැගින් වන්දි ගෙවීමට තීරණය කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයින් 24 දෙනෙකු තුවාල ලබලා තියෙනවා. මේ තුවාල ලබපු අය යම් කිසි ආබාධිත තත්ත්වයකට පත්වුණොත් ඒ අයටත් වන්දි ගෙවන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම මේ තත්ත්වය තුළ පූර්ණ නිවාස හානි 07ක් මේ වන විට අපට වාර්තා වෙලා තියෙනවා. මේ නිවාස 7ට ලක්ෂ 25 බැගින් වන්දි ගෙවන්න අපි සැලසුම් කරලා තියෙනවා. අර්ධ හානි 2053ක් අපිට වාර්තා වෙලා තියෙනවා. මේ නිවාසවලට හානිය අපි ප්‍රතිපූර්ණය කරලා ඒ සඳහා වන්දි ලබා දෙන්න අපි කටයුතු කරනවා.
ඒ වගේම කුඩා ව්‍යාපාර 8ක් හානියට පත්වෙලා තියෙනවා. ඒ වගේම යටිතල පහසුකම් ස්ථාන 31ක් හානියට පත්වෙලා තියෙනවා.
මෙවර වර්ෂය මුලදීම අපිට රුපියල් මිලියන 1000ක් වෙන් කරලා දීලා තියෙනවා. ඒ අනුව මේ නිවාස හානී තක්සේරු කරපු වහාම ඒ මුදල් ලබා දෙන්න කියලා අපි නිලධාරීන්ට උපදෙස් ලබා දීලා තියෙනවා."