රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරයකයට සූදානම්

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙරට සංචාරයකයට සූදානම්

May 31, 2025   05:43 pm

රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට කැමැත්ත පළකර තිබේ.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියන් මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා අතර පැවැති හමුවකදී රුසියානු තානාපතිවරයා ඒ බව සඳහන් කර ඇත.

ඊයේ (30) පස්වරුවේ එම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

මෙරට සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා රාජ්‍යයට ඉතා සාදරයෙන්, ගෞරවයෙන්  පිළිගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස  මහතා මෙහි දී ප්‍රකාශ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය පවසයි.

මේ අතර රුසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝ කාලීන මිතුදම පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය සේවාවේ මෙන් ම අනෙකුත් අංශවලත්  අභිවෘද්ධිය වෙනුවෙන් රුසියානු රජය දැක් වු  සහයෝගීතාවය සිහිපත් කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඵලදායී ලෙස අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට අපේක්ෂා කරන බව ද සඳහන් කරන ලදි.

එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙල පිළිබඳව රුසියානු තානාපතිවරයා සිය ප්‍රසාදය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පළ කළ අතර, ජනතාවට ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල ශක්තිමත් කරලීම සඳහා රුසියානු රජයේ සහාය අඛණ්ඩව ලබා දෙන බව ද ප්‍රකාශ කළේ ය.

නාස්තිය සහ වංචා දූෂණයෙන් තොර ජනතා හිතවාදි සෞඛ්‍ය සේවාවක් රට තුළ බිහි කිරීමේ සහ ආර්ථිකමය වශයෙන් රට ඉදිරියට ගෙන යෑමේ රජයේ නව ප්‍රතිපත්තිය පිළිබඳව රුසියානු රජයේ ප්‍රශංසාව තානාපතිවරයා මෙහි දී පළ කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යය පවසයි.

මෙරට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අංශයන්හි අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍යය සහාය ඉදිරියටත් නිබඳවම ලබා දෙන බව ද රුසියානු තානාපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු කෙරුණු මෙම හමුවේ දී දෙරට අතර සෞඛ්‍ය, ආයුර්වේද, ජනමාධ්‍ය වැනි  ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව ශක්තිමත්ව වැඩිදියුණු කර ගැනීම පිළිබඳව ද අවදානය යොමුවි ය.