මරණය දැක දැක ජීවත්වෙන ගාසා දරුවන්
සයුරෙන් එතෙර

මරණය දැක දැක ජීවත්වෙන ගාසා දරුවන්

May 21, 2025   11:19 pm

ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය මානුෂීය ආධාර කඩිනමින් නොලැබුණහොත් එහි ජීවත්වන දරුවන් 14,000ක් ඉදිරි පැය 48 තුළ මිය යා හැකි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඒ අනුව එම අනතුරු ඇඟවීම සිදුකර මේ වනවිට පැය 24කටත් වැඩි කාලයක් ගතව ඇත.

ඊශ්‍රායලය අකාරුණික ලෙස මානුෂීය ආධාර අවහිර කරන බවට ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

2023දී ඊශ්‍රායලය සමග ඇරඹී තවමත් නිමා නොවුණු යුද්ධයෙන් මේ වනවිට ගාසාහි මියගොස් ඇති දරුවන් සංඛ්‍යාව 15,000කට අධිකය.

යුද්ධයේ කෘෘරත්වය මැද ගාසා වෙත පානීය ජල සැපයුම් අත්හිටුවූ ඊශ්‍රායලය, මේ වනවට ගාසා වෙත ලැබෙන මානුෂීය ආධාරද සීමා කර ඇත.

මේ හේතුවෙන් අසරණ වූ මිලියන 2.1ක පිරිසක් මේ වනවිට සිටින්නේ සාගින්නේය.

ඒ අතර යුද්ධයක් ඇති කරන්නට කිසි ලෙසකින් හෝ දායක නොවී යුද්ධයෙන් අප්‍රමාණ බැටකමින්, සාගින්න දරාගත නොහැකිව මොරදෙන ගාසා දරුවන් සිටියි.

යම් හෙයකින් ගාසා තීරය වෙත අත්‍යවශ්‍ය ආධාර ප්‍රමාණවත් පරිදි කඩිනමින් නොලැබුණහොත්, ඉදිරි පැය 48 තුළ ගාසා හි දරුවන් 14,000ක් මරණයට පත්විය හැකිය.

ගාසාහි දරුවන් බහුතරය ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් පෙළෙන බැවින්, ඔවුන් වෙත කඩිනමින් ආහාර යොමුකිරීමේ අවශ්‍යතාව එක්සත් ජාතීන් අවධාරණය කර තිබේ.

ගාසා තීරය වෙත මානුෂීය ආධාර රැගත් ලොරි රථ සියයකට ආසන්න සංඛ්‍යාවක් දැනටමත් ඇතුළුවී ඇතත්, ඒවා බෙදාහැරීමට ඊශ්‍රායලය බාධා කරන බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

ලැබෙන ආධාර ද සාගරයට ඇද හැලෙන දිය බිඳක් තරම් අඩු ප්‍රමාණයක් බව පවසන එක්සත් ජාතීන් පෙන්වාදෙන්නේ, එම ප්‍රමාණය හෝ ලබාදීමට බාධා කිරීම අකාරුණික බවය.

කෙසේ නමුත් ගාසා වෙත යොමුකරන ආධාර, හමාස් සංවිධානය කොල්ලකමින් සිටින බැවින්, තමන් දැඩි ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ඊශ්‍රායලය පවසයි.

ගාසා හි අහිංසක දරුවන්ගේ කුසගින්න ගැනවත් නොසිතමින් ඊශ්‍රායලය ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම ජාත්‍යන්තරයේ ප්‍රබල විරෝධයට ලක්ව ඇති අතර, එය වහාම නවත්වන්නැයි, බ්‍රිතාන්‍ය, කැනඩා සහ ප්‍රංශ රජයයන් දැඩි පීඩනයක්ද එල්ල කරමින් සිටියි.

මේ අතර ඊශ්‍රායලය සමග සිදුකිරීමට නියමිතව තිබූ නිදහස් වෙළෙඳ සාකච්ඡාවලින් ඉවත්වීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.

එමෙන්ම 14 වැනි ලියෝ පාප්වහන්සේ ද වතිකානයේ සිට ඊශ්‍රායලයෙන් අද ඉල්ලා සිටියේ ගාසා වෙත මානුෂිය ආධාර ලබාදීමට ඉඩ දෙන ලෙසය.