පක්ෂය එකමුතු කිරීමට සහාය වන්නැයි මෛත්‍රීට ඇරයුමක්

පක්ෂය එකමුතු කිරීමට සහාය වන්නැයි මෛත්‍රීට ඇරයුමක්

May 2, 2025   03:39 pm

පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙලට නායකත්වය ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකයින් පිරිසක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

සභාපතිත්වය භාර ගැනීමට අකමැත්තක් දක්වන්නේ නම් එය භාර නොගෙන හෝ පක්ෂය එකමුතු කිරීමේ වැඩපිළිවෙළට සහය දක්වන ලෙස සංවිධායකවරුන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

නිදහස් පක්ෂ සංවිධායකවරුන් අවස්ථා දෙකකදී හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ තවත් සංවිධානයක් වන අපි ශ්‍රී ලංකා සංවිධානයද හිටපු ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

කෙසේ වෙතත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ඉල්ලීමට සෘජුව ප්‍රතිචාර දක්වා නොමැති අතර එළැඹෙන පළාත් පාලන මැතිවරණයෙන් අනතුරු මේ සම්බන්ධව අවධානය යොමු කරන බව ඔහු පවසා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මේ වන විට අර්බුද රැසක් හටගෙන ඇති අතර විවිධ පාර්ශ්වයන් ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග හරහා නිදහස් පක්ෂයේ දේශපාලනය මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබේ.

කෙසේ වෙතත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෙන්ම මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන තිබූ අධිකරණ ක්‍රියාමාර්ගවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කර ඇත.

එහෙත් දුමින්ද දිසානායක, විජයදාස රාජපක්ෂ, දයාසිරි ජයසේකර යන පක්ෂ සාමාජිකයින් ගොනු කර ඇති නඩු තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම තත්ත්වය තුළ එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පුටුව ලකුණින් තරග වැදීමට තීරණය කළේය.

කෙසේ වෙතත් මැතිවරණයෙන් අනතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ප්‍රතිසංවිධානය වනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.