තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි

May 2, 2025   05:20 pm

කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (2) පැවති තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගාවලියේ පළමු ජය ලැබීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

තරගාවලියේ තෙවන තරගය ලෙස මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී පළමුම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී ලකුණු 235ක් රැස්කිරීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව තරගයේ 47(46.3) වන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවී තිබියදී ලකුණු 237ක් රැස්කරමින් ජයග්‍රහණය සම්පුර්ණ කරගත්තේය.

මෙය ජාත්‍යන්තර කාන්තා එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව හඹාගොස් ලැබූ 4වන හොඳම ජයග්‍රහණය ලෙස වාර්තා අතරට එක්විය.

ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රාහී කඩයිම කරා රැගෙන ගිය හර්ෂිතා සමරවික්‍රම ලකුණු 77ක් හා කවීෂා දිල්හාරි ලකුණු 61ක් රැස්කිරීමට සමත් වූහ.

ඔවුන් දෙදෙනා 4වන කඩුල්ලට ලකුණු 128ක සබඳතාවක් පැවැත් වූහ. එය ශ්‍රී ලංකාව වෙනුවෙන් 4වන කඩුල්ලට ගොඩනැගූ හොඳම ලකුණු සබඳතාව විය.

මීට පෙර එම වාර්තාව චමරි අතපත්තු හා හසිනි පෙරේරා සතුව තිබුණි. ඔවුන් දෙදෙනා ලකුණු 111ක සබඳතාවක් ගොඩනගා ඇත.

පන්දු 93කින් ලකුණු 77ක් රැස්කළ හර්ෂිතා තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනාගත්තාය.

ඉන්දීය කණ්ඩායම මේ දක්වා ක්‍රීඩාකළ තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගෙන සිටියි.

තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ පළමු තරගය ඉන්දීය කණ්ඩායම හමුවේ පරාජය විය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම ශ්‍රී ලංකාව හා ඉන්දියාව සමගින් ක්‍රීඩාකළ තරග දෙකම මේ වනවිට පරාජය වී සිටියි.