ශ්‍රී ලංකාවට අලුත් IMF ලොක්කෙක්
April 8, 2025 11:52 am
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් එවන් පපාජියෝරිජියෝ (Evan Papageorgiou) මහතා පත්කර තිබේ.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙතෙක් කලක් කටයුතු කළ පීටර් බෘෘවර් මහතා (Peter Breuer) සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් නික්මයාමත් සමඟිනි.
ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ මුහුණපාන ලද දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් 2022 - 2023 වකවානුවේ දී ශ්‍රී ලංකාව යළිත් වරක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකට අනුගත වීමට පියවර ගත් අතර එම අවස්ථාවේ දී අරමුදලේ මෙරට දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් කටයුතු ආරම්භ කරන ලද්දේ පීටර් බෘෘවර් මහතා විසිනි.
එම කර්තව්‍යයේ පළමු සාර්ථක අදියර වශයෙන් 2023 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩොලර් බිලියන 3කට ආසන්න විස්තීර්ණ ණය අරමුදල් පහසුකමක් අනුමත කෙරුණු අතර එම වරඩසටහන සාර්ථක කරගැනීම සඳහා එහි පළමු සමාලෝචන තුන අධීක්ෂණය කිරීමට නායකත්වය ලබාදීමට බෘෘවර් මහතා කටයුතු කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා වශයෙන් වැඩ භාර ගත් එවන් පපාජියෝරිජියෝ මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ අයෙක් වන අතර ඔහු කලාපයේ ආර්ථික ප්‍රතිපත්ති සහා මෙහෙයුම් පිළිබඳ පුළුල් අත්දැකීම් ඇත්තෙකි.
මේ අතර ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළැඹි විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ මූලික සාකච්ඡාවක් ඊයේ (07) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවති අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ නව දූත මණ්ඩල ප්‍රධානී එවන් පපාජියෝරිජියෝ මහතා සහ ධුරය අවසන් කර නික්ම යන පීටර් බෘෘවර් මහතා ද එක්ව සිටියහ.