බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

බටලන්ද වාර්තාව ගැන පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙන දින මෙන්න

March 16, 2025   08:50 am

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 10 වනදා ආරම්භ වන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

බටලන්ද නිවාස සංකීර්ණයේ නීතිවිරෝධී ලෙස රඳවා ගැනීමේ ස්ථාන, වධකාගාර පිහිටුවීම සහ පවත්වාගෙන යාම පිළිබඳ පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාව සභානායක බිමල් රත්නායක අමාත්‍යවරයා විසින් පසුගිය 14 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර ඒ සඳහා දෙදින විවාදයක් පවත්වන බව එහිදී ප්‍රකාශ කළේය.

ඒ අනුව එම විවාදයේ පළමු දිනය අප්‍රේල් මස 10 වැනිදා පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පැවසීය.

විවාදයේ දෙවන දිනය සඳහා මැයි මාසයේ දිනයක් යොදාගැනීමට නියමිත බව වාර්තා වෙයි.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර දේශීය ආදායම් පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය මාර්තු 20 වැනි දින අයවැය කාරක සභා විවාදයෙන් අනතුරුව පස්වරු 6.00 සිට රාත්‍රී 8 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසීය.

පාර්ලිමේන්තුව අප්‍රේල් මාසය සඳහා 08, 09 සහ 10 යන දිනවල දී රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය වී තිබේ.