වෛද්‍යවරියගේ දුරකථනයට ලැබී ඇති ඇමතුම් ඔස්සේ විමර්ශන 

වෛද්‍යවරියගේ දුරකථනයට ලැබී ඇති ඇමතුම් ඔස්සේ විමර්ශන 

March 12, 2025   08:53 pm

අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක් බලහත්කාරයෙන් බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකර අපරාධයට සම්බන්ධ සැකකරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අද (12) පොලීසියට නියෝග කළේය.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්. ජයවීරට සහ එම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිසානි සෙනවිරත්නට එම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණය මෙම නියෝග නිකුත් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද මහත 'බී' වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරියක් සිය රාජකාරිය නිමවා නිල නිවසට පැමිණෙමින් සිටි අවස්ථාවේදී පිහියක් පෙන්වා ඇය නිල නිවස තුළදීම මෙම දූෂණය සිදුකර තිබුණි.

වෛද්‍යවරිය දූෂණය කිරීමෙන් පසුව සැකකරු විසින් පැහැරගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනයෙන් ලබා ගෙන ඇති සහ ඊට ලැබී ඇති දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් ද විස්තරාත්මක විශ්ලේෂණ වාර්තාවක් පොලීසියට ලබාදෙන ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකථන සමාගමේ කළමනාකාරීත්වයට තවදුරටත් නියෝග කර තිබේ.

ඒ අනුව මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් උප පොලිස් පරීක්ෂක ඒ. සී. දයානන්ද මහතා පැවසුවේ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් සිය නිල නිවස තුළදී පිහියක් පෙන්වා බිය ගන්වා බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල් පොලිසිය මගින් මූලිකව දැනුම්දීමක් කළ බවය. 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශන අරඹා දූෂණයට ලක් වීමෙන් පසුව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර සිටි වෛද්‍යවරියගෙන් ප්‍රකාශ සටහන් කරගත් බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂකවරයා, මෙකී ප්‍රකාශවලින් හෙළි වූ කරුණු පදනම් කරගෙන මෙම අපරාධය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් ආරම්භ කළ බවද කීවේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ සහ තවත් අංශ කිහිපයක් ඔස්සේ පුළුල්ව විමර්ශන සිදු කෙරෙන බවද අධිකරණයට දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක දයානන්ද මහතා වෛද්‍යවරිය බරපතළ දූෂණයට ලක් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් පැහැරගෙන ගොස් ඇති වෛද්‍යවරියට අයත් ජංගම දුරකථනය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් නොපමාව පොලිසියට ලබාදෙන ලෙස දුරකථන සමාගමේ කළමනාකාරිත්වයට නියෝග කරන්නයිද ඉල්ලා සිටියේය.

අපරාධයට සම්බන්ධ සැකකරු අධිකරණයට නොපමාව ඉදිරිපත් කිරීමට කටයුතු  කරන බවද පොලිස් පරීක්ෂකවරයා අධිකරණයට තවදුරටත් දැන්වීය. 

මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන යුද හමුදාවෙන් පළා ආ සෙබලෙකු බව කියන සැකකරු ඊයේ (11) ගල්නෑව පොලිසිය මගින් ගල්නෑව හෙළබදුගමදී අත්අඩංගුවට ගත්තේය.

මෙම අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ  පස්වරුවේ අධිකරණයට කරුණු වාර්තා කරන තෙක්ම සැකකරු ගල්නෑව පොලිසිය මගින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාරදී නොතිබුණි.

කෙසේවෙතත් සැකකරුගෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් ගල්නෑව පොලිසිය තුළදී ප්‍රශ්න කිරීමෙන් අනතුරුව වැඩිදුර  විමර්ශන සඳහා අනුරාධපුර පොලීසියට භාරදීමට නියමිතව තිබුණි.