හිටපු ඇමති මර්වින්ට වැඩ වැරදුණු ඉඩම් ගනුදෙනුව

හිටපු ඇමති මර්වින්ට වැඩ වැරදුණු ඉඩම් ගනුදෙනුව

March 6, 2025   08:39 pm

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ මහජන සම්බන්ධතා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (5) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීය.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණේ, කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස්කර පෞද්ගලික අංශයට විකිණීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුවය. 

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මර්වින් සිල්වා මහතාට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවටගත් සැකකරුවන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙනවිත් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (6) පස්වරුවේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

අත්අඩංගුවටගත් සෙසු සැකකරුවන් වන්නේ නවීන් වීරකෝන් සහ සිංහබාහු ජයන්ත යන තැනැත්තන්ය.

මෙහිදී සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය කරුණු දැක්වීම ආරම්භ කළේය.

''ස්වාමීනි, කිරිබත්ගොඩ නවනගර සැලැස්ම යටතේ 2010 වසරේදී රජයට අත්පත් කරගත් දේපොළක් කූඨ ලේඛන සකස්කරමින් පුද්ගලික ගැනුම්කරුවෙකුට විකිණීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. 

මෙහි පළමු සැකකරු ව්‍යාජ ඔප්පුවක් සකස්කළ අදාළ ඉඩම මිලදීගත් තැනැත්තා. දෙවැනි සැකකරුවන මර්වින් සිල්වා එවකට රජයේ අමාත්‍යවරයෙකු ලෙස සිටිමින් සිය අනුදැනුම මත මෙම වංචාව සිදුකර තිබෙනවා. 

තෙවන සැකකරු එම සිද්ධිය වන අවස්ථාවේ කැලණිය ප්‍රාදේශීය සභාවේ උපසභාපති ලෙස කටයුතුකර තිබෙනවා".

අනතුරුව සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් කියා සිටියේ, අදාළ දේපොළ රජයට අයත්ද යන්න ප්‍රශ්නගත බැවින් මෙම නඩුවට අදාළව පොදුදේපොළ පනත යොදාගත නොහැකි බවයි.

ඒ අනුව සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස ඔවුන් ඉල්ලා සිටියේය.

අනතුරුව විමර්ශන නිලධාරීන් විවෘත අධිකරණයේ යළි කරුණු දැක්වූහ.

'' ස්වාමීනි, මෙම ඉඩම රජයට අයත් දේපොළක් බව ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ නිලධාරීන්ගෙන් අප ලබාගත් ප්‍රකාශයකින් තහවුරු වුණා. මෙම වංචාව සිදුකර ඇත්තේ කණ්ඩායමක් එකතුවී කුමන්ත්‍රණකාරී ලෙසයි. 

ව්‍යාජ ඔප්පුවේ අයිතිකරු ලෙස නම සඳහන් විමල් අත්තනායක නමැත්තා මර්වින් සිල්වාගේ දේශපාලන කටයුතුවලට සහාය දැක්වූ අයෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී කිව්වා, දිනක් තමන්ව මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ කාර්යාලයට කැඳවා හිස්කොළයක් දීලා අත්සන් කරන්න කියලා. එය හිස්කොළයක් බැවින් තමන් අමාත්‍යවරයාගේ මුහුණ බැලූවිට, තමුසෙට ඒක වැඩක් නැහැනේ, අත්සන් කරනවා... යැයි පැවසූ බවද ඔහු ප්‍රකාශයේදී සඳහන් කළා. 

එබැවින් ස්වාමීනි මෙය එවකට ප්‍රදේශය භාර ඇමතිවරයා, ප්‍රාදේශීය සභාපතිවරයා හා එහි මන්ත්‍රීවරු, එහි ව්‍යාපාරිකයින් කුමන්ත්‍රණකාරී ලෙස එකතුවී පොදු චේතනාවෙන් ව්‍යාජ ඔප්පු සාදා සිදුකළ ක්‍රියාවක්''

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ මහර මහෙස්ත්‍රාත් කාංචනා එන්. සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ අදාළ දේපොළ පොදුදේපොළක් බව බැලූබැල්මට පෙනීයන බවයි.

ඒ අනුව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාර්තු 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.