හෙද සේවය අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමේ තීරණයේ අලුත්ම තත්ත්වය

හෙද සේවය අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමේ තීරණයේ අලුත්ම තත්ත්වය

March 6, 2025   07:01 pm

හෙද සේවයේ නියුතු ශ්‍රේණි කිහිපයක හෙද හෙදියන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් රජය සමයේ අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්, අභියාචනාධිකරණය විසින් මීට පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (6) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එම අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පිරිසක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් විභාගකළ අභියාචනාධිකරණය රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ගෙන තිබූ අමාත්‍ය මණ්ඩල තීරණය හෙද සේවයට අයත් විශේෂ ශ්‍රේණිය, හෙද ශ්‍රේණිය -01 සහ විධායක ශ්‍රේණියට අයත් හෙද හෙදියන් සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි.

එම අභියාචනාධිකරණ අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බවත්, එය ඉවත්කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා නීතිපතිවරයා විසින් මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේය.

එම අභියාචනය සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෘ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කර තිබෙන මෙම අතුරු තහනම් නියෝගය නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය.

ඒ අනුව අදාළ අතුරු තහනම් නියෝගය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් මෙම අභියාචනා විභාගය අවසන් වන තෙක් එම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකවීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ  අභියාචනය විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කළේය.