පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

පුංචි ඡන්දය පැවැත්වෙන දිනය ගැන ඉඟියක්

March 6, 2025   05:49 pm

නාමයෝජනා භාරගැනීමෙන් අනතුරුව පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

නාමයෝජනා කැඳවීමත් සමග මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරන බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සම්පූරණයෙන්ම අසත්‍ය බවද සභාපතිවරයා සඳහන් කළේය.

පළාත් පාලන මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවද ඔහු පැවසීය.

මැතිවරණ කොමිසමේ රැස්වීම අද (6) පෙරවරුවේ රාජගිරිය මැතිවරණ ම⁣හලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා මේ බව සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

"නාමයෝජනා භාරගන්න දවසේ අපි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල ක් ක්‍රියාත්මක කරනවා. ඒ ගැන අපි පොලීසිය එක්ක සාකච්ජා කරලා තියෙන්නෙ. අද අපි වැඩබලන පොලිස්පතිවරයා සහ ජේශ්ඨ පොලිස් නිලධාරීන් එක්ක මේ ගැන සාකච්ජා කළා. 

මේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ නාමයෝජනා භාරගන්න දිනයේ ඉදන්ම ක්‍රියාත්මක වෙනවා. අපි හෙට රජයේ මුද්‍රණාලයාධිපතිවරයා සහ එහි නිළධාරීන් එක්ක සාකච්ඡා කරනවා. ඊට පස්සෙ නිල ඡන්ද පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම ගැන තැපැල්පති එක්ක සාකච්ජා කරන්න බලාපොරොත්තු වෙනවා. 

මේ වෙද්දි ඇප මුදල් භාර ගැනීමේ කටයුතු ආරම්භ වෙලා තියෙන්නෙ. ඒ වැඩකටයුතු 19වනදා මධ්‍යහන 12න් අවසන් වෙනවා. ඒ වගේම පසුගිය පළාත් පාලන මැතිවරණය සඳහා භාරගෙන තිබූ ඇප මුදල් යළි ලබාදීමේ කටයුතු ද අපි ආරම්භ කර තිබෙනවා" යැයි පැවසීය.

මේ අතර එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ඇප තැන්පත් භාරගැනීම ආරම්භකළ ඉකුත් 3වනදා සිට ඊයේ (5) ප.ව. 4.15 දක්වා කාලය තුළ ඇප තැන්පත් කරනු ලැබූ දේශපාලනය පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් පිළිබඳ වාර්තාවක් ද මැතිවරණ කොමිෂන් සභාව අද (6) ප්‍රකාශයට පත්කළේය‍.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඇප තැන්පත් කිරීමේ වාර්තාව

MR LAE 2025 04 T by poornima on Scribd