ගොවියා ආරක්ෂා කිරීමට ජනපතිගෙන් තීරණ රැසක්

ගොවියා ආරක්ෂා කිරීමට ජනපතිගෙන් තීරණ රැසක්

March 6, 2025   08:20 pm

යල කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීම සඳහා ගොවි බිම්වලට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව අඛණ්ඩව ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ යල කන්නයට අවශ්‍ය පොහොර සැපයුම පිළිබඳ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

යල කන්නයේ වී ගොවිතැන සහ අනෙකුත් කෘෂිකාර්මික කටයුතු සඳහා පවතින පොහොර අවශ්‍යතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණි.

මේ අතර වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදුවූ වගා හානි සඳහා වන්දි ලබාදීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබේ.

ඒ, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ අද (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණි.

මෙවර අයවැයෙන් වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන ඉදිරි මාස 08 තුළ පූර්ණ හා ඵලදායී ලෙස යෙදවීමේ අවශ්‍යතාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට පෙන්වාදී තිබේ.

ඒ, වාරි පද්ධතියේ සංවර්ධනය සඳහා ගතයුතු ඉදිරි පියවර සහ මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන යෙදවීම පිළිබඳ අද පැවැති සාකච්ඡාවකදී ය.

ගොවි ජනතාවගේ දීර්ඝ කාලීන ගැටලුවක් වන ජල ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් මෙවර අයවැයෙන් වාරි කර්මාන්තය සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ජනාධිපතිවරයා පැවසීය. 

එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති සඳහා ඵලදායීව යෙදවීම තුළින් මෙම වසරේ මෙරට අපේක්ෂිත ආර්ථික වර්ධන ඉලක්කය වූ 3% - 4%ක  මට්ටමට පහසුවෙන් ළඟා විය හැකි බැවින් අදාළ ව්‍යාපෘති ඉතා සමීපව අධ්‍යයනය කරමින් ඵලදායී ලෙස ප්‍රතිපාදන යෙදවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණි.