විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වට මෛත්‍රී දුකින්

විදෙස් සංචාර වියදම් ගැන හෙළිදරව්වට මෛත්‍රී දුකින්

March 6, 2025   01:47 pm

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධයෙන් හෙළි කළ කරුණු පිළිබඳ තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

අද (06) දින මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටියේ, වසර 5ක කාලය තුළ තමා විසින් රු මි 384ක් වියදම් වී ඇතැයි පෙනී ගියද  ඇතැම් රාජ්‍ය නායකයියන් මුළු ධුර කාලයෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කනගාටුවට කරුණක් බවය.

- උපුටා ගැනීම - 

වසර 5ක කාලය තුළ මා විසින් රුපියල් මිලියන 384ක මුදලක් වියදම් වී ඇති බව පෙනෙන අතර ඇතැම් රාජ්‍ය නායකයන්ගේ මුළු ධුර කාලසීමාවෙන් අඩක් පමණක් විදෙස් සංචාර වියදම් ලෙස පෙන්වා තිබීම කණගාටුවට කරුණකි.

2015 වර්ෂයේ මා බලයට පත්වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ලෝකයේ බලවත් රටවල් සමඟ විදේශ සබඳතා සම්පූර්ණයෙන්ම බිඳ වැටී තිබුණි. ඒ සියල්ල යළි යථා තත්ත්වයට පත් කරමින් විදේශ සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කළ අතර විදෙස් සමුළුවලට මා සහභාගී වූ විට විදෙස් රටවල රාජ්‍ය නායකයින් මා අසලටම පැමිණ මා හමුවී සුහද සාකච්ඡාවක නිරත වීමට තරම් ඒ වන විට ශක්තිමත් විදේශ සබඳතාවයක් ඇති කර ගැනීමට මාගේ ධූර කාලය තුළ හැකිවිය.

මාගේ කාල සීමාව තුළ රාජ්‍ය නායකයින් රැසක් ලංකාවට පැමිණි අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පමණක් තුන් වතාවවක් ලංකාවට පැමිණියේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයෙකු වසර 5ක් ඇතුලත තුන් වතාවක් ලංකාවේ සංචාරය කල ප්‍රථම අවස්ථාවද වන්නේ මාගේ ධුර කාලය තුළයි. එය දෙරට අතර දැඩි මිත්‍රත්වය සහ සුහදශිලිත්වය වර්ධනය වූ බවට හොඳම නිදසුනකි.

2015 සිට 2019 දක්වා මා විසින් කරන ලද විදේශ සංචාර සියල්ලම එකී රටවලට මා සහභාගි වූයේ මා හට කරන ලද ආරාධනා අනුව රාජ්‍ය සංචාර හා නිල සංචාර වශයෙනි. එම සෑම සංචාරයක්ම රටේ ජනතාවට වාසියක් වන ආකාරයේ ගිවිසුම් 300කට වඩා මා සහ මා සමග ගිය අමාත්‍යවරු විසින් අත්සන් කරන ලදි. 

එම සංචාර කිසිසේත් මාගේ විනෝදයට ගිය ඒවා නොවේ. මා විසින් සිදුකර ඇති නිල විදේශ සංචාර සඳහා වැය වූ යැයි ප්‍රකාශ කර ඇති රුපියල් මිලියන 384ක මුදලට වඩා එම නිල සංචාරවලදී රටට ලැබුණු ආර්ථික වාසිය රුපියල් කෝටි සිය ගණනකට වඩා විශාලය. එම නිල සංචාර සඳහා මා සෑම විටම සාමාන්‍ය මගී ගුවන් යානා පමණක් භාව්තා කළ බව ද සිහිපත් කළ යුතුය. 2015 ට පෙර අපේ රටට අහිමි වී තිබූ GSP+ බදු සහනය යුරෝපයෙන් ලබාගත්තේ මගේ රජය විසිනි.

අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික, තාක්ෂණ, සංස්කෘතික වැනි ඉතා වැදගත් විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ඉහත කී ගිවිසුම් අත්සන් කරන ලද අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සහ බිමිස්ටෙක් සමුළුව සඳහා එම සංවිධාන නියෝජනය කරන සාමාජික රටක් ලෙස අප රට නියෝජනය කරමින් සහභාගි වීම අත්‍යවශ්‍ය කටයුත්තකි. එම ආරාධනා වලට අපේ රට නියෝජනය නොවුණහොත් අපට ඇතිවන ආර්ථික සහ ඉහත සඳහන් විෂය ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට අප වැනි කුඩා රටකට අපහසුය.

බෙංගාල සමුද්‍රීය ආශ්‍රිත දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල සහයෝගීතාවය හෙවත් බිස්ටෙක් සංවිධානය ආරම්භ කිරීමෙන් පසු එම සංවිධානයේ දෙවැනි සභාපතිවරයා වශයෙන් මා පත් කර ගැනීම ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැප වූ නායකයෙකු ලෙස මා විසින් සිදු කරගෙන ගිය වැඩ පිළිවෙළ එහිදී සුවිශේෂී ඇගැයිමකටද ලක්විය.

මාගේ කාලසීමාව තුළ අත්සන් කරන ලද විදේශ ගිවිසුම් රටට වාසිදායක වූ අතර එකී ගිවිසුම්වලට අඩංගු ලිපිලේඛන විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රමුඛ අනෙකුත් ප්‍රධාන අමාත්‍යංශවල තවමත් ඇතැයි මා සිතමි. එහෙත් කණගාටුවට කරුණ වන්නේ එසේ අත්සන් කරන ලද ගිවිසුම් 2020 වර්ෂයේ සිට බලයට පත් වූ ආණ්ඩු විසින් ක්‍රියාත්මක නොකිරීමය. එය රටේ ජනතාවගේ අවාසනාවක් විනා මා විසින් විදේශ සංචාර සඳහා අනවශ්‍ය ලෙස මුදල් විනාශ කිරීමක් නොකරන ලද බව ජනතාවගේ දැන ගැනීම සඳහා කාරුණිකව ප්‍රකාශ කර සිටිමි.

- උපුටා ගැනීම අවසන් -