පරිභෝජනයට නුසුදුසු ආහාර ගබඩාවක් සේදවත්තේ
January 30, 2025 10:33 pm
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් වැල්ලම්පිටිය සේදවත්ත ප්රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි කිරීමකදී මිනිස් පරිභොජනයට නුසුදුසු තිරිගු පිටි සහිත ගබඩාවක් සොයාගෙන ඇත.
එම අධිකාරියේ 1977 කෙටි දුරකථන අංකයට ලද පැමිණිල්ලකට අනුව අද (30) සිදුකළ මෙම වැටලීමේදී අදාළ ගබඩාවේ තිබී කිලෝ 25ක් සහිත ඇසුරුම් 30,000ක් සොයාගෙන තිබේ.
මෙම තිරිඟු පිටි සත්ව ආහාර සඳහා නිකුත්කරන මුවාවෙන් නැවත වෙළෙඳපොළට නිකුත් කොට ඇතිදැයි සොයා එම අධිකාරිය විසින් විමර්ශනයක්ද මේ වනවිට ආරම්භ කර ඇත.
මේ අතර මෙම ගබඩාවේ සඟවා තිබූ ආයනික සම්බා කිලෝ 25 බැගින් වූ ඇසුරුම් 8,000ක්ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි නිලධාරීන්ට සොයාගැනීමට හැකිව ඇත.
එම සහල් කලකට පෙර මෙරටට ආනයනය කල ඒවා බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
පසුගිය සමයේ සහල් ආනයනයට රජය විසින් අවසර ලබා දෙනු ලැබුවත්, ඊට පෙර මෙම සහල් ආනයනය කර ඇති බවට තොරතුරු හෙළි වී ඇත.
පසුගිය සමයේ වෙළෙඳපොළේ ඇතිවූ සහල් හිඟයේදී පවා මෙම සහල් වෙළෙඳපොළට ප්රමාණාත්මකව නිකුත්කර නොමැති බව සඳහන් වේ.
ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම ගබඩාව සීල් තබා ඇත.