වැඩිමිලට සහල් විකිණූ සුපිරි වෙළෙඳසැලකට ලක්ෂ 10ක දඩයක්

වැඩිමිලට සහල් විකිණූ සුපිරි වෙළෙඳසැලකට ලක්ෂ 10ක දඩයක්

January 30, 2025   08:32 pm

පාලන මිල ඉක්මවා සහල් විකිණීම හේතුවෙන්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මේ දක්වා පනවා ඇති ඉහළම දඩ මුදල රුපියල් මිලියනයක් බව එම අධිකාරිය පවසයි.

අද දෙරණ 'බිග් ෆෝකස්' වැඩසටහනට එක්වෙමින් එම අධිකාරියේ අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා මේ බව පැවසීය.

එම අධිකාරිය විසින් ජනවාරි මාසයේ දී පමණක් වැඩි මිලට සහල් අලෙවිකළ වෙළෙඳුන් 220කට එරෙහිව නඩු පවරා ඇත.

ඉන් පෙරේදා (28) දිනයේදී පිටකොටුවේ සිල්ලර වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 7.5ක දඩයක් පැනවූ බවද අසේල බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.

"මේ වසරට ලබාදී තිබෙන ලොකුම දඩය රුපියල් මිලියනයක්. එය සුපිරි වෙළෙඳසැලකට. ඊට අමතරව පෙරේදා දවසේ පිටකොටුවේ සිල්ලර වෙළෙන්දෙකුට රුපියල් ලක්ෂ 7.5ක දඩයක් පැනවූවා". 

මේ අතර මෙම වැඩසටහනට එක් වූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ ජනක ප්‍රසාද් මහතා පවසා සිටියේ, තමන් මිලදී ගත් භාණ්ඩවලට බිල්පතක් ළඟ තබාගන්න ලෙසයි.

එය සිදුනොකිරීම හේතුවෙන් තමන්ට සිල්ලර වෙළෙන්දාට හෝ තොග වෙළෙන්දාට එරෙහිව නඩු පැවරීමට සිදුවන බව හෙතෙම පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

"පාලන මිලට වැඩියෙන් තමයි සිල්ලර වෙළෙන්දන්ට මිලදී ගන්න සිදුවෙලා තිබුණේ. අපි පැහැදිලිව කියන්නේ තමන්ට විකුණන්න පුළුවන් මිලට සහල් ලබාගන්න කියලා.  

හාල් මෝලෙන් ගත්තේ වැඩි මිලට නම්, ඔහු ළඟ වැඩිමිලට ගත් ඒ බිල්පතක් තියෙන්න ඕන. කිසිම අවස්ථාවක වැඩිමිලට ගත් බිල්පත ඉදිරිපත් වෙන්නේ නෑ. ව්‍යාපාරිකයට වගකීමක් තියෙනවා තමන් මිලදී ගත් භාණ්ඩවලට බිල්පතක් ළඟ තබාගන්න. 

ඒක සිදු නොකිරීම තුළ අපට සිදුවෙනවා සිල්ලර වෙළෙන්දා නැත්තම් තොග වෙළෙන්දාට නඩු පවරන්න".