ඊ ටිකට් වංචාවට අත්අඩංගුවට ගත් අයෙකුට ඇප

ඊ ටිකට් වංචාවට අත්අඩංගුවට ගත් අයෙකුට ඇප

January 27, 2025   03:22 pm

දුම්රිය දෙපාර්තමේන්තුව මගින් අන්තර්ජාලය ඔස්සේ නිකුත් කරනු ලබන ඊ ටිකට් නීති විරෝධී ලෙස මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සංචාරක මඟ පෙන්වන්නෙකු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.

මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකි. 

අන්තර්ජාලය ඔස්සේ අදාළ ටිකට් පත් දෙකක් මිලදී ගෙන එම ටිකට්පත් රුපියල් 27,000ක මුදලකට විදේශිකයින් දෙදෙනෙකුට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබුණි.

සිද්ධිය සම්බන්ධ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශණ නිලධාරීන්  අධිකරණය හමුවේ පැවසූවේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවය.

එමෙන්ම මෙම ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් මහනුවර කොට්ඨාශ අපරාධ කාර්යාංශයේ නිලධාරීන් විසින් එම විමර්ශන අනුව මෙම සිව්වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් අධිකරණය හමුවේ පවසා සිටියේය.