දුම්රිය e ටිකට්පත් සම්බන්ධ අක්‍රමිකතාවලට CIDයෙන් විමර්ශනයක්

දුම්රිය e ටිකට්පත් සම්බන්ධ අක්‍රමිකතාවලට CIDයෙන් විමර්ශනයක්

January 28, 2025   06:57 pm

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අන්තර්ජාලය ඔස්සේ ටිකට්පත් නිකුත් කිරීමේ දී සිදු වී ඇති අක්‍රමිකතාවලට ඇතැම් නිලධාරීන්ගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (28) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම්  දී තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු මත මෙම විමර්ශනය සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මෙම ටිකට් පත් වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරුණු අතර ඒ යටතේ සැකකරුවන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී  මහත්මියට දැනුම් දී තිබේ.