ජන හා නිවාස සංගණනය ගැන විශේෂ පණිවුඩයක් 

ජන හා නිවාස සංගණනය ගැන විශේෂ පණිවුඩයක් 

December 19, 2024   06:11 pm

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය ට අදාළ ව පදිංචි ස්ථානයක් නිශ්චිතව නොමැති යාචකයින් වැනි පුද්ගලයින්ගේ තොරතුරු රැස් කිරීම ඊයේ (18) රාත්‍රියේ දී සිදුකර තිබේ. 

දිස්ත්‍රික් 25 ම ආවරණය කරමින් මෙම කටයුත්ත ද ඊයේ සාර්ථකව අවසන් කළ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව සාමාන්‍ය පදිංචියක් සහිත පුද්ගලයින්ගෙන් ලබා ගත් තොරතුරු “සංගණන දිනය“ ලෙස හඳුනාගත් අද දිනය පදනම් කර ගනිමින් සංශෝධනය කිරීම දෙසැ.19 සිට දෙසැම්බර් 23 දක්වා සිදු කෙරේ. 

ඒ සඳහා ද නොමසුරු සහයෝගය ලබාදෙන ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

මෙම සංගණනයෙන් ලබාගන්නා තොරතුරු ඉදිරි වසර 10 තුළ රටේ ජාතික ප්‍රතිපත්ති සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට සහ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රනයට ද අවශ්‍ය වන දත්ත සම්පාදනය කිරීමට වැදගත් වෙයි.

ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් වසර දහයකට වරක් පවත්වනු ලබයි. 

මෙම සංගණනයේ පළමුවන අදියර ලෙස මුළු දිවයිනේ ග්‍රාම නිලධාරී කොට්ඨාස පදනම් කර ගනිමින් සංගණන කාණ්ඩ ලෙස කුඩා කොටස් වලට වෙන් කර සිතියම් ගත කරන ලද අතර එම සිතියම පදනම් කර ගනිමින් දෙවන අදියර වන ගොඩනැගිලි හා ඒකක රතු ලේබලයක් අලවා ලැයිස්තුගත කිරීම 2023 වසරේදී සිදුකළේය.

එම ලැයිස්තුව පදනම් කරගනිමින් රටෙහි ජීවත්වන සියලුම පුද්ගලයින්ගේ හා නිවාසවල තොරතුරු රැස්කිරීම  2024 ඔක්තෝම්බර් 07 වන දින ආරම්භ කරන ලද අතර එය 2024 දෙසැම්බර් 23 දිනෙන් අවසන් වීමට නියමිතය.

සංගණන ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව පවත්වනු ලබන ජන හා නිවාස සංගණනයේ දී පුද්ගලයින් නිවැරදි තොරතුරු සැපයීමට බැඳී සිටින අතර, එම තොරතුරු පුද්ගල මට්ටමින් කිසිම පාර්ශ්වයකට හෙළි නොකිරීමට සියලුම සංගණන නිලධාරීන් බැදී සිටියි.

පුද්ගලයින්ගේ සාමාන්‍ය පදිංචියට අදාළ ජනගහනයේ ප්‍රමාණය භුගෝලීය විසිරීම, අධ්‍යාපන මට්ටම්, භාෂා කුසලතා, පරිගණක සාක්ෂරතාවය, කියවීමේ සහ ලිවීමේ හැකියාව, රැකියා විස්තර, ශාරීරික හා මානසික අපහසුතා ආදිය තොරතුරු මෙන්ම, නිවාස පිළිබඳ තොරතුරු ද, විමසා ලබා ගැනීම සිදු කරන ලදී.