අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණ නෑ - වැඩබලන පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක්

අපරාධකරුවන්ට තවදුරටත් දේශපාලන රැකවරණ නෑ - වැඩබලන පොලිස්පතිගෙන් සැර ප්‍රකාශයක්

January 17, 2025   04:30 pm

නව රජයේ ප්‍රතිපත්ති සමග සංවිධානාත්මක අපරාධකරුවන්ට තවදුටරටත් දේශපාලන රැකවරණය හිමි නොවන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසයි.

'නව රජයේ වැඩපිළිවෙල සමග පොලීසියේ කාර්යභාරය' යන තේමාව යටතේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමවුකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ, විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් රතු නිවේදන ලබාගෙන ඉතා ඉක්මනින් ලංකාවට රැගෙන ඒමට කටයුතු කරන බවය.

අපරාධකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට පොලීසියට වගකීමක් ඇති බව ද අවධාරණය කර සිටි වැඩබලන පොලිස්පතිවරයා, අපරාධ මර්දනය සම්බන්ධයෙන් පසුගිය කාලයේ නිසි ලෙස ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වීමෙන් අපරාධකරුවන් වැඩි වශයෙන් බිහිවූ බව ද සඳහන් කළේය.

මේ අතර පසුගිය කාලයේ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබීම පිළිබඳ අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කළේ, එම අපරාධ මෙහෙයවන පුද්ගලයින් විදෙස්ගතව සිටි එම අපරාධ මෙහෙයවන බවය.

"ඒ වගේම අපි දකින අනෙක් තිත්ත ඇත්ත තමා මේ අපරාධකරුවන් බන්ධනාගාරය තුළ ඉඳන් අපරාධ මෙහෙයවමින් ඉන්නවා. මේවා සම්බන්ධයෙන් අපි අඛණ්ඩව කටයුතු කරන අතර එම අපරාධ අවම කිරීමට කටයුතු කරනවා..."

මේ අතර විෂ මත්ද්‍රව්‍ය පාලනය සම්බන්ධයෙන් ද පොලීසියට විශේෂ වගකීමක් පැවරෙන බව පැවසු වැඩබලන පොලිස්පතිවරයා, පසුගිය 2024.09.23 වන දින සිට 2025.01.10 දින දක්වා සිදුකළ මෙහෙයුම්වලින් පහත සඳහන් මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

හෙරොයින් කිලෝග්‍රෑම් 373ක් 
ගංජා / කේරළ ගංජා කිලෝග්‍රෑම් 3504ක්
අයිස් කිලෝග්‍රෑම් 751
කොකේන් කිලෝග්‍රෑම් 3.7ක්
හෂීස් කිලෝග්‍රෑම් 167ක්
වෙනත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 482ක්

මේ අතර, මෙතෙක් ඉතිහාසයේ ගොඩබිමකින් සොයාගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය ද පසුගිය කාලයේ සොයාගෙන ඇති බව ද ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.  

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්ගේ දෙවන පෙළ සාමාජිකයින් 1,415ක් හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.