ලොහාන් රත්වත්තේ අධිකරණයට රැගෙන එයි

ලොහාන් රත්වත්තේ අධිකරණයට රැගෙන එයි

December 9, 2024   10:35 am

අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (09) උදෑසන කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේය.

ලොහාන් රත්වත්තේ මහතා සිය ඥාති නිවසකට ගොස් නැවත යමින් සිටියදී ඔහු පැදවූ ජීප් රථය කොල්ලුපිටිය මංසන්ධිය අසලදී තවත් මෝටර් රථයක ගැටී දෙසැම්බර් මස 6 වනදා අනතුරක් සිදුව තිබුණි.

ඒ අනුව අනතුර සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව බීමතින් රිය ධාවනය කර අනතුරක් සිදුකිරීමේ චෝදනා මත ඒ මහතාව දෙසැම්බර් මස 7 වනදා අත්අඩංගුවට ගනු ලැබීය.

පසුව අලුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලොහාන් රත්වත්තේ මහතාව අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

කෙසේවෙතත් ඔක්තෝබර් 30 වනදා ලොහාන් රත්වත්තේ මහතාව කටුගස්තොටදී, මිරිහාන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

ඒ ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ මහත්මියට අයත් මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ තෙමහල් නිවසක අංක තහඩු නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් ගාල්කර තිබියදී සොයාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඇප මත මුදාහැරුණේ දෙසැම්බර් මස 05 වනදාය.