
මියගියා යැයි සිතා භූමදාන කටයුතු මෙන්ම සාංඝික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ පුවතක් කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වේ.
මීට මාස දෙකකට පමණ පෙර හදිසියේම අතුරුදකන් වූ මෙම පුද්ගලයා මීට ඉහතදීත් දින කිහිපයකට නිවසින් පිටව ගොස් නැවත පැමිණීමේ පුරුද්දක් ඔහු සතුව තිබීම නිසා පවුලේ අය මුලදී ඒ පිළිබඳව උනන්දු වී නැතත්, සතියකට වඩා කාලයක් ගතවීමෙන් පසු බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව හබරණ පොලිස් වසමේ රක්ෂිතයක තිබී වස පානය කර මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූ බවට අගෝස්තු 27 කොකාවැව පොලිසියෙන් ලද තොරතුරකට අනුව පවුලේ ඥාතීන් සිරුර පරීක්ෂා කර ඇත.
මළසිරුරේ තිබූ ඇඳුම්, තම පුතු විසින් අලුත් අවුරුද්දට පියාට අරන් දුන් ඇඳුම්වලට සමාන වීම නිසා එය තම සැමියාගේම සිරුර බවට බිරිඳ ඇතුළු ඥාතීන් විසින් තහවුරු කරගෙන තිබේ.
ඒ අනුව අගෝස්තු 31 වන දින පොළොන්නරුව ප්‍රදේශයේදී සිරුර භූමදානය කර, ආගමික වතාවත්වලට අනුව සාංඝික දානමය පුණ්‍යකර්ම සැප්තැම්බර් 06 සහ 07 දිනවල ද සිදු කිරීමට පවුලේ අය කටයුතු කර ඇත.
නමුත් මියගිය බවට විශ්වාස කළ පුද්ගලයා හදිසියේම බස් රථයකින් තම නැගණියගේ නිවසට පැමිණ ඇති අතර, ඒ පිළිබඳව ලද ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ මෙම නිවසේ පුද්ගලයින් විසින් කොකාවැව පොලිස් ස්ථානය දැනුම්වත් කර තිබේ.
















































