
අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේ දන්සැල් කලාපයේ පැවති සත්‍යග්‍රහ භූමියේදී ඇති වූ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට අධිකරණය නියෝග කර තිබේ.
ඒ අනුව, එළඹෙන 26 වැනිදා විවෘත අධිකරණය හමුවේ පෞද්ගලිකව පෙනී සිට ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (17) නියෝග කළේය.
රුවන්වැලි මහා සෑය ආසන්නයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මේ මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බලංගොඩ කස්සප හිමියන් හැර සෙසු භික්ෂූන් වහන්සේ සිව්නමක්, පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥවරුන් වන ඉන්දික ඉඹුල්පිටිය සහ නුවන් බැල්ලන්තුඩාව යන මහත්වරුන් ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
එහිදී නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දී ඇත්තේ අදාළ ගැටුමට මුල් වූ බව කියන රාජාංගනයේ සද්ධාරතන ඇතුළු පුද්ගලයන් 25කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු වුවද, පොලිසිය එසේ කටයුතු නොකරන බවය.
එමෙන්ම, ගැටුම වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු කර නොමැති බවටත්, සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමේදී ගැටුම මෙහෙයවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පිළිබඳවද සැකයක් මතුවන බවටත් නීතිඥවරුන් චෝදනා කර තිබේ.
කෙසේ වෙතත්, සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබේ.

















































