
දිවයිනේ ප්රදේශ දෙකකදී තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් පුද්ගල ඝාතන දෙකක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
මාතර, වල්ගම උතුර ප්රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 39ක් වූ වල්ගම උතුර ප්රදේශයේ පදිංචිව සිටි යුද හමුදා නිලධාරියෙකි.
අදාළ පුද්ගලයා සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් හටගත් ආරවුලකදී සහෝදරයා විසින් කඩුවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මාතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
මේ අතර, වලපනේ, ගල්කැටිවෙල ප්රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 35ක් වූ ගල්කැටිවෙල ප්රදේශයේ පදිංචිව සිටි අයෙකි.
අදාළ පුද්ගලයා සහ අසල්වැසියෙකු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් හටගත් ආරවුලකදී පොරවකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
අපරාධය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වලපනේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

















































