සංගීත ලොවේ උන්මාදය ලියම් පෙයින් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ
සයුරෙන් එතෙර

සංගීත ලොවේ උන්මාදය ලියම් පෙයින් මරණ පරීක්ෂණයෙන් හෙළි වූ දේ

October 24, 2024   01:30 pm

ආර්ජන්ටිනාවේ හෝටලයක තෙවැනි මහලෙන් ඇදවැටී මියගිය වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියම් පෙයින්ගේ මරණයට හේතුව අභ්‍යන්තර රුධිර වහනය බවට අනාවරණ වී තිබේ.

එමෙන්ම මියයන අවස්ථාව වනවිට ඔහුගේ සිරුරේ කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය කිහිපයක් අන්තර්ගතව තිබූ බවත් මූලික මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී ඇති බව සඳහන් වේ.

මරණ පර්යේෂකයින්, මරණ පරීක්ෂණයේ දී පෙයින්ගේ සිරුරේ තුවාල 25ක් පමණ නිරීක්ෂණය කර තිබූ බව සඳහන් වේ.

කෙසේ වුවද සිරුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතු බව බලධාරීන් පවසයි.

ඒ අනුව ලියම් පෙයින් මියගොස් සතියක් පමණ ගත වී ඇතත් ඔහුගේ සිරුර තවමත් ඥාතීන් වෙත භාරදී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කලක් සංගීත ලෝලීන් අතර උන්මාදයක් වූ වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ලියම් පෙයින් මියගියේ මීට සතියකට පමණ පෙරාතුවය.

ඒ ආර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් අගනුවර ගොඩනැගිල්ලක තෙවැනි මහලෙන් ඇදවැටීමෙනි.

මියයන විට ඔහු 31 වැනි වියෙහි පසුවිය.

ලියම් පෙයින් ගොඩනැගිල්ලෙන් ඇදවැටීමට පෙර බීමත්ව ප්‍රචණ්ඩකාරීව හැසිරෙන පුද්ගලයෙකු පිළිබඳව හෝටල් කාර්යමණ්ඩලය ආර්ජන්ටිනා හදිසි ඇමතුම් අංශයට දැනුම් දී තිබුණි.

ආරක්ෂක අංශ හෝටලය වෙත පැමිණ තිබුණේ එම දැනුම්දීම මතය.

කෙසේ වුවත් ආරක්ෂක අංශ පැමිණෙන විටත් පෙයින් හෝටල් කාමරයේ සඳළුතලයෙන් ඇදවැටී මියගොස් තිබුණි.