
දීර්ඝ කාලයක් පුරා මැදපෙරදිග කලාපයේ යොදවා තිබූ යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් (USS Abraham Lincoln) ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායමට අනුයුක්තව සේවය කළ නාවිකයින් 8 දෙනෙකු දිවිනසා ගැනීමට උත්සාහ කර ඇති බව එක්සත් ජනපද නාවික හමුදාව තහවුරු කර තිබේ.
නිව්යෝක් හි සෙනෙට් සභික කර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් වෙත ලිපියක් යොමු කරමින් වැඩබලන නාවික හමුදා ලේකම් හුං කාවෝ මේ බව අනාවරණය කර ඇත.
පසුගිය නොවැම්බර් මාසයේ සිට දීර්ඝ කාලයක් තිස්සේ ඉරාන යුද මෙහෙයුම් සඳහා මැදපෙරදිග කලාපයේ යොදවා තිබූ මෙම නෞකාවේ සේවය කළ නාවිකයින්ගේ මානසික සෞඛ්‍යය පිරිහී යාම සහ දුෂ්කර තත්ත්වයන් පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් දැඩි කනස්සල්ල මතුකර තිබිණි.
නෞකාවේ කාර්ය මණ්ඩලයේ අධ්‍යාත්මික හා චිත්තවේගීය අවශ්‍යතා වෙනුවෙන් පූජකවරුන් පස්දෙනෙකු සහ මානසික සෞඛ්‍ය වෘත්තිකයන් රැසක් සේවයේ යොදවා සිටි බව නාවික ලේකම්වරයා සඳහන් කළේය.
නෞකාවේ නළ පද්ධති බිඳවැටීම් සහ නැවුම් ආහාර හිඟයක් පැවති බවට පළ වූ වාර්තා නාවික හමුදාව ප්‍රතික්ෂේප කළද, තාවකාලිකව ජල සැපයුම් ගැටලු සහ ආහාර විකල්ප සීමාවීම් සිදු වූ බව ඔවුන් පිළිගෙන ඇත.
මෙම දීර්ඝ මෙහෙයුම මුලින් මැයි මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණද, එය කිහිප වරක්ම සේවා දිගු කිරීමට සිදුවිය.
කෙසේ වෙතත්, මේ වන විට අදාළ නෞකාව එක්සත් ජනපදය වෙත යළි හැරී එමින් පවතින බපව සඳහන් වේ.
අමෙරිකානු නාවික හමුදාව සහ මැරීන් භටයින්ගේ මරණ සඳහා ප්‍රධාන හේතුවක් වී ඇත්තේ සියදිවි හානිකර ගැනීම් වන අතර, නාවික යාත්‍රාවල සේවය කරන භට පිරිස් අනෙකුත් හමුදා අංශවලට වඩා ඉහළ "මානසික පීඩනයකට" මුහුණ දෙන බව මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇති බව විදෙස් මාධය වැඩිදුරටත් පවසයි.


















































