වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්
June 11, 2024 03:48 pm
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ජුනි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.
ඒ, බලපත්‍රයක් නොමැතිව වටිනා දැව තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන සිටියදී ඔවුන් මුදාගැනීමට පොලිස් රාජකාරියට බාධා සිදුකළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
කොටවිල පොලීසියේ නිලධාරීන් පසුගියදා කොටවිල වරකාපිටිය මාර්ගයේ රථවාහන රාජකාරියේ නිරතවී සිට තිබුණි.
එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනය වු කුඩා ලොරි රථයක් පරීක්ෂා කර ඇත.
එහිදී බලපත්‍රයක් නොමැතිව නැදුන්, මහෝගනී, සහ කොස් යන දැව ලොරි රථයේ තිබූ බව පොලීසිය කියයි.
අනතුරුව එම ලොරි රථයේ රියදුරු සහ රිය සහායක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබු අතර එම සැකකරුවන් දෙදෙනා කඹුරුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව පැවසෙයි.
එම ලොරි රථය යොදා ගනිමින් බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කරමින් සිටියදී ඉකුත් මාර්තු මස 15 වනදා කනංකේ පොලීසිය මගින් ද අත්අඩංගුවට ගෙන තිබෙන බව විමර්ශනවලදී හෙළිවී ඇත.