ඉම්රාන් ඛාන් නිසා ලොකු වියදමක්
සයුරෙන් එතෙර

ඉම්රාන් ඛාන් නිසා ලොකු වියදමක්

April 10, 2024   09:34 pm

සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරන වියදම සම්බන්ධයෙන් අනාවරණයක් සිදුකර තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ ඉම්රාන් ඛාන්ව රඳවා සිටින බන්ධනාගාරයේ අධිකාරිවරයා විසින් අධිකරණයට ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවය.

එම වාර්තාව උපුටා දක්වමින් පාකිස්තාන මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉම්රාන් ඛාන් සඳහා බන්ධනාගාරයේ යොදවා ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳ මාසික බිල්පත රුපියල් මිලියන 1.2 ඉක්මවා ඇති බවය.

එම බන්ධනාගාරයේ රඳවා සිටින අනෙක් සිරකරුවන් 7,000ක් අධීක්‍ෂණය කරන පද්ධතියට වඩා වෙනස්  CCTV කැමරා පද්ධතියක් ඇතුළුව බන්ධනාගාර පරිශ්‍රය තුළ ඉම්රාන් ඛාන්ට ලබාදී ඇති විශේෂිත පහසුකම් සම්බන්ධයෙන් ද අදාළ වාර්තාවේ ඇතුළත් වෙයි.

ඉම්රාන් ඛාන් වෙනුවෙන් පිළියෙළ කරන ලද ආහාර පිළිගැන්වීමට පෙර වෛද්‍ය නිලධාරියෙකු හෝ බන්ධනාගාරයේ නියෝජ්‍ය අධිකාරීවරයෙකු විසින් පරීක්ෂා කරනු ලබන බවද පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා වෛද්‍යවරුන් 06 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ස්ථානගත කර ඇති අතර අතිරේක විශේෂඥ කණ්ඩායම් නිරන්තර පරීක්‍ෂණ පවත්වන බවද වාර්තා වෙයි.