අනුර ඉන්දියාවේ තවත් ලොක්කෙක් හමුවෙයි

අනුර ඉන්දියාවේ තවත් ලොක්කෙක් හමුවෙයි

February 6, 2024   08:05 am

ඉන්දියාවේ සංචාරයක නිරත වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඉන්දියානු රජයේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හමුවී තිබේ.

ඊයේ (05) පස්වරුවේ සර්දාර් පටෙල් භවන්හිදී මෙම හමුව සිදුව ඇති බව වාර්තා වේ.

මෙහිදී කලාපීය ආරක්ෂාව පිළිබඳවත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා පිළිබඳවත් දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබේ.

ඊයේ පෙරවරුවේ අනුර කුමාර දිසානායක මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ද හමුවී සාකච්ඡා පවත්වනු ලැබීය.

ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටී.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙකුට ඉන්දීය රජය විසින් එරට සංචාරයක නිරත වීමට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.

මේ අතර ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ රාත්‍රියේ විදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් Vinay Mohan මහතා හමුව තිබේ.

එම හමුව නවදිල්ලි නගරයේ Taj Mansingh හෝටලයේදී පැවැත්විණි. 

අද (06) දිනයේදී එම දූත පිරිස ඉන්දියාවේ Observer Research Foundation සහ Unique Identification Authority of India (UIDAI) ආයතන නැරඹීමට සහ එම ආයතනයන්හි ක්‍රියාකාරිත්වයන් පිළිබඳ විශේෂ සාකච්ඡාවල නිරතවීමට නියමිතය.